සාන්ත මරියා සහ නාවික හමුදා කණ්ඩායම් අවසන් 16ට

347
St.Mary’s & Navy progress to ‘Last 16’

FA කුසලාන පාපන්දු තරගාවලියේ සිව්වන වටයට අදාලව පැවති තවත් තරග දෙකක දී සාන්ත මරියා ක්‍රීඩා සමාජය ගෝල 12ක දැවැන්ත ජයකුත්, නාවික හමුදාව ගෝල 1 – 0ක තියුණු ජයකුත් වාර්තා කරන්නට සමත් විය. යාපනය දුරයප්පා ක්‍රීඩාංගණයේ පැවති මෙම තරග වලින් පරාජය වුනේ විම්බල්ඩන් සහ සාන්ත නිකලස් ක්‍රීඩා සමාජය යි.

බ්‍රිලියන්ට් කණ්ඩායමෙන් රෙඩ් ස්ටාර් ක්‍රීඩකයන්ට ප්‍රහාරයක්

FA කුසලාන පාපන්දු තරගාවලියේ සිව්වන වටයට අදාලව කල්මුණේ සාන්තන්කර්නි ක්‍රීඩාංගණයේ පැවැත්වුණු තරගයකින් බේරුවල රෙඩ් ස්ටාර් කණ්ඩායමට ගෝල 2 – 1ක අනපේක්ෂිත පරාජයක්…

සාන්ත මරියා සහ විම්බල්ඩන් ක්‍රීඩා සමාජ අතර තරගය

මේ තරගයේ ආරම්භයේ දී විම්බල්ඩන් ක්‍රීඩකයන් තිදෙනෙක්ම නිවැරදි ඉලක්කය සහිතව එල්ල කළ පහර වළක්වන්නට සාන්ත මරියා කණ්ඩායම සමත් විය. කෙසේ වෙතත් තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම කණපිට හැරවූ සාන්ත මරියා කණ්ඩායම වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තා කරන්නට නිතර්ශන් සමත් විය.

ඒ සමගින් ආරම්භ වූ ගෝල දඩයම පළමු අර්ධය අවසන් වන විට 5 වරක් සාර්ථක වී තිබුණි.

පළමු අර්ධය : සාන්ත මරියා 5 – 0 විම්බල්ඩන්

සාන්ත මරියා කණ්ඩායමේ ආක්‍රමණය දෙවන අර්ධයේ දී තවත් වර්ධනය වූ අතර එම කාලය තුළදීත් එකදු ගෝලයක් හෝ වාර්තා කරන්නට විම්බල්ඩන් කණ්ඩායමට හැකි නොවීය.

විශිෂ්ට තරග රටාවක් පෙන්නුම් කළ නිතර්ශන් 77 වන මිනිත්තුව තුල දී තම ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කරද්දී, ඊට නොදෙවෙනි වූ රේග්නෝ ට්ස්වකීය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කලේ 80 වෙනි මිනිත්තුවේ දී වාර්තා කළ ගෝලයත් සමඟයි.

මේ අනුව සාන්ත මරියා කණ්ඩායමට දෙවන අර්ධයේ දී ගෝල 7 ක අයිතිය හිමි විය.

අවසන් ප්‍රතිඵලය: සාන්ත මරියා 12 – 00 විම්බල්ඩන්

ThePapare.com තරගයේ වීරයා – නිතර්ශන් (සාන්ත මරියා)


සාන්ත නිකලස් සහ නාවික හමුදා අතර තරගය

තරගය ආරම්භ වී සාන්ත නිකලස් කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුට පන්දුවේ පහස විඳින්නට ඉඩ ලැබීමටත් මත්තෙන් නාවික හමුදාවට ගෝලයක් ලබා ගැනීමට හොඳ අවස්ථාවක් ලැබුණ ද ක්‍රිශාන්ත පෙරේරා එල්ල කළ පහර කෙලින්ම ඇදී ගියේ ප්‍රතිවාදී දැල් රකින්නා අතටයි.

නාවිකයන් තරගයේ පාලනය තමන් සතුව රඳවා ගනිමින් තවත් ආක්‍රමණශීලී අවස්ථා කිහිපයක්ම උදා කර ගත්ත ද ඉන් කිසිවක් අවසානයේ සාර්ථක නොවීය. 25 වන මිනිත්තුවේ දී පන්දුව හිසින් ගෝලය තුලට යොමු කිරීම සඳහා පෙරේරාට ලැබුණු අවස්ථාව ඉන් ස්වර්ණමය අවස්ථාවක් ගිලිහී යාමක් ලෙස හැඳින්විය හැක.

පළමු අර්ධය අවසන් භාගයට ලඟා වන විට සාන්ත නිකලස් කණ්ඩායමට ද තරගයට අවතීර්ණ වීමේ අවස්ථා කිහිපයක් හිමි වුවත් එම අර්ධය අවසන් වන තෙක් ලකුණු පුවරුවට බලපෑමක් එල්ල කරන්නට කිසිවෙකු සමත් වුනේ නැත.

පළමු අර්ධය: සාන්ත නිකලස් 0 – 0 නාවික හමුදාව

දෙවන අර්ධය ආරම්භ වීමත් සමඟ කණ්ඩායම් දෙකම ඉහළ තරගකාරීත්වයකින් සටන් වැදීම කැපී පෙනුනි. නාවික ක්‍රීඩක මධුශාන් ප්‍රතිවාදී දැල් රකින්නා අභිබවමින් පන්දුවක් ගෝලය දෙසට යොමු කළ ද වෙනත් ආරක්ෂක ක්‍රීඩකයන් දෙදෙනෙක් විසින් එම පන්දුව ගෝලය තුලට ඇදීයාම වළක්වන්නට සමත් විය.

මෙවන් තවත් ආසන්න අවස්ථා කිහිපයක් ගෝල බවට පත් නොවී අවසන් වුවත් නාවික කණ්ඩායමේ නායක ක්‍රිශාන්ත පෙරේරා තරගයේ එකම ගෝලය වාර්තා කිරීමේ වගකීම තමන් විසින්ම භාර ගත්තේ 77 වන මිනිත්තුවේදීයි. දඬුවම් පහර සීමාවේ කොනක රැඳී සිටි තමන් වෙතට ඇදී ආ කොන් පහරක් නිවැරදිව ගෝලය තුලට එල්ල කළ ඔහු තම කණ්ඩායමේ ජය තහවුරු කරන ලදි. ඉන් අනතුරුව සාන්ත නිකලස් ක්‍රීඩකයන් තම ආක්‍රමණය තවත් සවිමත් කළත් විනිසුරුගේ අවසන් නලා හඬ නිකුත්වන විටත් තරගයේ වාසිය පැවතුනේ නාවිකයන් සතුවයි.

අවසන් ප්‍රතිඵලය: සාන්ත නිකලස් 0 – 1 නාවික හමුදාව

ThePapare.com තරගයේ වීරයා – ජෙයරාජ් (සාන්ත නිකලස්)

තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න  පාපන්දු ක්‍රීඩා පිටුවට