CCC සහ IMPERIAL සුපිරි අවසන් මහා තරගයට

Red Bull Campus Cricket Tournament 2021

504

2021 Red Bull විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග අදියරේ අවසන් පූර්ව වටයේ තරග දෙක අද (13) දිනයේ කොළඹ දී නිමා වුනා. එහි දී CCC (Central Campus – Colombo) සහ Imperial College of Business Studies (ICBS) යන කණ්ඩායම් පිළිවෙළින් SLIM (Sri Lanka Institute of Marketing) සහ ESOFT යන කණ්ඩායම් පරාජයට පත් කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තා.

අර්ධ අවසන් පූර්ව තරගවල දී පහත පරිදි දස්කම් දක්වමින් අවසන් පූර්ව තරග දෙක සඳහා මේ කණ්ඩායම් 4 සුදුසුකම් ලබා ගත්තා. කෙසේ නමුත්  ICBT කණ්ඩායම නොවැළැක්විය හැකි හේතුවක් නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වුනු නිසාවෙන් ESOFT කණ්ඩායම නිතරගයෙන් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව ලැබුණා.

  • SLIIT සහ Sri Lanka Institute of Marketing – SLIM කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
  • KDU සහ ICBS/IMPERIAL – ICBS කණ්ඩායමට කඩුලු 2ක ජයක්.
  • CCC සහ SAEGIS – CCC කණ්ඩායමට ලකුණු 9ක ජයක්.

දිනය තුල පැවති අවසන් පූර්ව තරග දෙකම ඉතාමත් හොඳ තරග දෙකක් වුනු නමුත් තරග දෙකම ජයග්‍රහණය කළේ පසුව පන්දුවට පහර දුන් කණ්ඩායම් දෙක වීම විශේෂත්වයක්.

අවසන් පූර්ව තරග දෙකේ පිතිකරණ දස්කම් සලකා බැලීමේ දී කණිෂ්ක උග්ගල්පාය (SLIM), හේෂාන් දනුෂ්ක (CCC) සහ සජිත් ප්‍රියලාල් ද සිල්වා (IMPERIAL) යන ක්‍රීඩකයින් අර්ධ ශතක වාර්තා කර ගනිමින් සුපිරි පිතිකරණ දස්කම් වල නිරත වුනා. 

පන්දු යැවීමේ දී දිනය පුරාවට කඩුලු 26ක් බිඳ වැටුණු අතර ඉන් වැඩිම කඩුලු ප්‍රමාණයක් සඳහා හිමිකම් කීවේ CCC කණ්ඩායමේ උපනායක වේගපන්දු යවන ක්‍රීඩක චමිඳු විජේසිංහ සහ නිපුන් මාලිංග යන ක්‍රීඩකයින් දෙදෙනායි. කඩුලු 4 බැගින් දවා ගත් ඔවුන් දෙදෙනාම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

එසේම දිනයේ කැපී පෙනුණ තුන් ඉරියව් දස්කම් දක්වමින් සිය කණ්ඩායමේ සමබරතාවය රැකදුන් චමිඳු සිය කණ්ඩායම වෙනුවෙන් නොදැවී ලකුණු 36*ක් ලබා ගැනීමට සමත් වූ  අතර කඩුලු රකින ක්‍රීඩක කවිඳු මදාරසිංහ උඩපන්දු 5ක් රැකගනිමින් දස්කම් දැක්වීමට සමත් වුනා.

තවද IMPERIAL කණ්ඩායමේ සජිත් දැක්වූ පිතිකරණ දස්කම්වලට අමතරව පවන්ත වීරසිංහ සිය තුන් ඉරියව් දස්කම් දක්වමින් ලකුණු 13කට කඩුලු 3ක් දවා ගත්තේ පිතිකරණයෙන් ලබා ගත් ලකුණු 32ට අමතරවයි.

ලකුණු සාරාංශය,

CCC සහ Sri Lanka Institute of Marketing 

SLIM – 124/9 (20: කනිෂ්ක උග්ගල්පාය 51, චමිඳු විජේසිංහ 4/22, නිපුන් මාලිංග 4/34

CCC – 127/2 (17.4): හේෂාන් දනුෂ්ක 55*, චමිඳු විජේසිංහ 36*, අවිශ්ක පෙරේරා 21, කසුන් ඒකනායක 1/20.

CCC කණ්ඩායමට කඩුලු 8ක ජයක් හිමි විය. 

IMPERIAL සහ ESOFT

ESOFT – 139 (19.5): කවිඳු ඉරෝෂ් 31*, රමින්ද විජේසූරිය 31, නිමේෂ් විමුක්ති 26, පවන්ත වීරසිංහ 3/13, අයේෂ් හර්ෂණ 3/15.

ICBS – 145/5 (14.5): සජිත් ප්‍රියලාල් ද සිල්වා 53, පවන්ත වීරසිංහ 32, නේරන්ජන වන්නිආරච්චි 2/22.

ICBS කණ්ඩායමට කඩුලු 5ක ජයක් හිමි විය. 

2021 Red Bull විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ තරග අදියරේ අවසන් මහා තරගය හෙට (14) උදෑසන 8.45 සිට CCC සහ Imperial College of Business Studies කණ්ඩායම් අතර පැවැත්වෙනවා. එම සුපිරි අවසන් මහා තරගය කොළඹ BRC පිටියේ සිට සජීව ලෙස ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටි. රැඳී සිටින්න, අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<