කොදෙව් ටෙස්ට් සුක්කානම Brathwaiteට

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2021

208

ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන කොදෙව් කණ්ඩායමේ නායකත්වය Kraigg Brathwaite හට හිමිව තිබෙනවා.

කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් තරග දෙක සඳහා නායකත්වය සපයනු ඇත. මීට පෙර කොදෙව් කණ්ඩායමේ ටෙස්ට් නායකත්වය හිමිව තිබුණේ Jason Holder හටයි. ඔහු 2015 වසරේ සිට ටෙස්ට් තරග 37ක් සඳහා කොදෙව් කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.

මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි. Dinesh Ramdinගෙන් අනතුරුව ටෙස්ට් නායකත්වයට පත්වන ඔහු, ඔහුගේ ධූර කාලය තුල තරග 11ක් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබෙනවා. තරග 5ක් ජය පරාජයෙන් තොරව නිමා වූ අතර තරග 21ක් පරාජය වී තිබෙනවා.

කොදෙව් ක්‍රිකට් ආයතනය වෙනුවෙන් මම Jason හට ස්තුතිවන්ත වෙනවා. කණ්ඩායම වෙනුවෙන් සහ ක්‍රීඩාව වෙනුවෙන් ඔහු කළ කැපකිරීම් විශාලයි. ඔහු කණ්ඩායමේ සාර්ථක නායකයෙක්, කොදෙව් ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂක Jimmy Adams පවසා සිටියා.

Jason Holder නායකයා විදිහට හිටපු අවුරුදු පහකට වැඩි කාලය තුළ ඔහු අපේ කණ්ඩායමේ ගුණාත්මකභාවය ඉහල මට්ටමක රඳවා ගන්න සමත් වුනා. ලෝකයේ අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා විදිහට ඔහුට අපේ කණ්ඩායම වෙනුවෙන් තවත් බොහෝ කාලයක් සේවය ලබා දෙන්න හැකියාව තියෙනවා.

කොදෙව් කණ්ඩායම අවසන් වරට සහභාගි වූ බංග්ලාදේශය සංචාරයේ ටෙස්ට් නායකත්වය හිමි වූයේ Kraigg Brathwaite හටයි. එම තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට කොදෙව් කණ්ඩායම සමත් වුනා. කොදෙව් කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානියා වන Roger Harper පවසා සිටියේ Brathwaite ගේ නායකත්ව ගුණාංග පිළිබඳ පැහැදිලි අවබෝධයක් බංග්ලාදේශ සංචාරය තුළින් ලබා ගත හැකි බවයි. කණ්ඩායම මෙහෙයවීමේ ඔහුගේ හැකියාව සංචාරය තුළින් මනාව ඉස්මතු වන බව Harper  පවසා සිටියා.

තවත් ක්‍රිකට් පුවත්:

Kraigg Brathwaite මීට පෙර තරග හතක් සඳහා කොදෙව් කණ්ඩායම මෙහෙයවා තිබෙනවා. අවසන් වරට ඔහු නායකත්වය දැරූ බංග්ලාදේශ සංචාරය ඓතිහාසික සංචාරයක් බවට පත් කරගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුනා. ආසියාව තුළ සිව්වැනි ඉනිමක දී හඹාගොස් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු සංචාරය වාර්තාව කොදෙව් කණ්ඩායම සතු වුනා. ඒ පළමු ටෙස්ට් තරගයේ දීයි. දෙවන ටෙස්ට් තරඟය කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කළේ ලකුණු 17කින්.

අපි හැමෝම හිතනවා Kraigg Brathwaite තමයි නායකත්වයට සුදුසුම කෙනා කියලා. මේ වෙලාවේ දී ඔහුට වගකීම් භාර දෙන එක හොඳ දෙයක් කියලා අපි දකිනවා. මං ගොඩක් සතුටු වෙනවා මේ නායකත්වය භාර ගැනීම පිළිබඳව. බංග්ලාදේශය සමඟින් පැවති අවසන් ටෙස්ට් තරගාවලියේ දී අපි දැක්කා ඔහු නියම ආකාරයට අනිත් ක්‍රීඩකයන් දිරිගන්වමින් ඔවුන්ගෙන් උපරිමය ලබා ගන්නවා. මේ වෙලාවෙදි අපේ කණ්ඩායමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක. ඔවුන් හැමෝම එක කණ්ඩායමක් වගේ ජයග්‍රහණය වෙනුවෙන් සටන් කළා, Roger Harper පවසා සිටියා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ දෙවැනි වටය Kraigg Brathwaiteගේ මූලික අභියෝගය වනු ඇත. පළමු වටයේ ශ්‍රේණිගත කිරීම්වල කොදෙව් කණ්ඩායම හයවැනි ස්ථානයට පත්ව තිබෙනවා. එම තරගාවලිය තුළ ඔවුන් තරගාවලි හතරකට සහභාගි වී ඇති අතර ඉන් තරග තුනක් ජයග්‍රහණය කර තිබෙනවා. ඔවුන්ට හිමිවී ඇති මුළු ලකුණු සංඛ්‍යාව 160ක්. 

කොදෙව් කණ්ඩායමේ නායකත්වය හිමි වීම මගේ වාසනාවක් විදිහට මම දකිනවා. ඒ වගේම ඒක මට ලොකු ගෞරවයක්. මම ආඩම්බර වෙනවා නායකත්වයට පත් වෙන්න හැකි වීම පිළිබඳව. කණ්ඩායමේ වීමට මට අවස්ථාව ලබා දීම පිළිබඳව තේරීම් කමිටුවට මම මගේ ස්තූතිය පුද කර සිටිනවා, තම නව වගකීම පිළිබඳව අදහස් දක්වමින් Kraigg Brathwaite පවසා සිටියා.

අවසන් වරට අපි ක්‍රීඩා කරපු බංග්ලාදේශ සංචාරය ජයග්‍රහණය කරන්න හැකි වීම අපි කණ්ඩායමක් විදියට ලබපු ලොකු ජයග්‍රහණයක්. මං ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා ඉදිරියේ දී ආරම්භ වෙන ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව. මම හිතනවා මේ කණ්ඩායමට ඉදිරියේ දී ලොකු දෙයක් කරන්න පුළුවන් කියලා. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ කොදෙව් සංචාරය සඳහා විස්සයි විස්ස තරග 3ක්, එක්දින තරග 3ක් සහ,ටෙස්ට් තරග 2 ක් ඇතුළත්.

ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එළඹෙන මාර්තු මස 21 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති අතර දෙවන ටෙස්ට් තරගය මාර්තු මස 29 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

Cricbuzz ඇසුරිනි  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<