ශානකගේ දස්‌කම් ගැන ශ්‍රී ලංකා නායකයා සතුටින්

279
Angelo Mathews speaks about Dasun's performances

මංගල තරගයේදීම දසුන් ශානක විසින් දක්‌වන ලද තුන් ඉරියව් දක්‌ෂතා පිළිබඳව තමා බෙහෙවින් සතුටට පත්ව සිටින බව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සඳහන් කර සිටියි.

මෙම තරගයේදී ශානක විසින් පන්දු 19 කදී වේගවත් ලකුණු 42 ක්‌ද, පන්දු යවමින් ලකුණු 43 කට කඩුලු 5 ක්‌ද, වශයෙන් තුන් ඉරියව්වෙන්ම දක්‌ෂතා දක්‌වමින් ශ්‍රී ලංකාව ලකුණු 76 ක (ඩක්‌වර්ත් ලුවිස්‌ න්‍යායට අනුව) ජයක්‌ කරා රැගෙන යැමට සමත්විය. මෙය එංගලන්ත සහ අයර්ලන්ත තරග සංචාරය යටතේ ශ්‍රී ලංකාව විසින් වාර්තා කරන ලද පළමු ජයග්‍රහණය වශයෙන් සටහන් විය.

තරග ලිපිය: චන්දි සමඟ නැගී ආ යොවුන් පිතිකරණය

දසුන්ගේ මංගල තරගය සිහින ආරම්භයක්‌. අපි ඔක්‌කොම එයාගේ දක්‌ෂතාවය ගැන සතුටට පත්වෙනවා. ඒ වගේම ඔහුගේ එම දක්‌ෂතා ඉදිරි තරගවලදීත් දිගින් දිගටම රඳවා ගනියි කියලා හිතනවා යෑයි ශ්‍රී ලංකා නායකයා පවසයා.

තවමත් 24 වැනි වියේ පසුවන ශානක දකුණතින් පිත්ත හසුරුවන අතර දකුණත් මද වේග පන්දු යවන්නකු ලෙස කටයුතු කරයි. අයර්ලන්තය සමග පැවැති තරගය දසුන්ගේ මංගල එක්‌දින වරම් හිමිවූ තරගය වේ. ඊට ප්‍රථම හෙතෙම 20/20 තරග 10 කට සහ එංගලන්තය සමග පැවැති පළමු ටෙස්‌ට්‌ තරගයට සහභාගි වී තිබේ.

අපි එංගලන්තය සමග වූ ටෙස්‌ට්‌ තරගාවලිය හොඳින් කරපු නැති නිසා එම තරගාවලිය පරාජයට පත්වුණා. නමුත් එංගලන්තයේ වගේම සමානතා තියෙන මෙම තරගය ජය ගැනීම නිසා අපේ ජයග්‍රහණ මානසිකත්වය එංගලන්තය සමග එක්‌දින තරගාවලිය දක්‌වා රැගෙන යැමට අපි බලාපොරොත්තු වෙනවායනුවෙන් මැතිව්ස්‌ අදහස්‌ දක්‌වයි.

පසුගිය ලිපි: පැරදුණේ තිරිමාන්න නිසාම නොවේ – ඇන්ජලෝ මැතිව්ස්‌

මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායම නියමිත පන්දුවාර 50 දී ලකුණු 300 සීමාව (303) ඉක්‌මවා යැමට සමත්වූ අතර එය ශ්‍රී ලංකා නායකයාව මහත් ප්‍රීති ඇති කරවන්නක්‌ බවට පත්ව තිබේ. මෙම තරගයේදී කාසියේ වාසිය ශ්‍රී ලංකා නායකයාට අහිමිවූ බැවින් වැසි සහිත කාලගුණ තත්ත්වයක්‌ යටතේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට සිදුවීම අවධානම් සහගත විය. එවන් තත්ත්වයක්‌ යටතේ වුවද විශාල ලකුණු සංඛ්‍යාවක්‌ ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවීම එම ප්‍රීතිය දෙගුණ තෙගුණ කරවන්නක්‌ බවට පත්ව තිබේ.

මෙහි පන්දුවට පහර දෙනවා කියන්නේ පිතිකරුවකුට ලොකු අභියෝගයක්‌. නමුත් ඔවුන් උපරිම උත්සාහය ගත් නිසා ඒක හරිගියා. මේ වගේ තත්ත්වයන් යටතේ ක්‍රීඩා කිරීමේදී ප්‍රහාරාත්මක වේගය රඳවා තබා ගැනීම මෙන්ම කඩුලු අතර සම්බන්ධතා හොඳින් පවත්වාගෙන යැම ඉතාමත් වැදගත්. එහෙම වුණොත් මැද පෙළ පිතිකරුවන්ට පහසුයි. මෙහිදී පළමු තරගයට සහභාගිවුණු කුසල් මෙන්ඩිස්‌ විසින් ලබාගත් සාර්ථක ආරම්භය ඉතාමත් වටිනවා. ඔහුගේ ලකුණු 51 සහ චන්දිමාල්ගේ ඉනිම අපේ ඉනිමට ලොකු ශක්‌තියක්‌ වුණා. ශානකත් ඔහුගේ සේවය හොඳින් අවසන් කළායි මැතිව්ස්‌ සඳහන් කර සිටියි.

ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න

මෙම තරගයේදී ලකුණු 100 ක්‌ වාර්තා කළ දිනේෂ් චන්දිමාල්ගේ ඉනිම ශ්‍රී ලංකා ඉනිමට මෙතරම් ලකුණු සංඛ්‍යාවක්‌ කරා යැමට අවස්‌ථාව පහසු කරන ලද ඉනිම බවට පත්විය. ශ්‍රී ලංකා ඉනිමේ 10 වැනි පන්දුවාරයේදී පන්දුවට පහර දීම සඳහා චන්දිමාල් පිටියට පැමිණෙන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 2 ට ලකුණු 47ක්‌ වශයෙන් දිස්‌ විය. එතැන් පටන් ශ්‍රී ලංකා ඉනිම නිමා වන තෙක්‌ම සිය කඩුල්ල ආරක්‌ෂා කරගත් චන්දිමාල්ගේ ඉනිමට ඔහු පන්දු 107 කට පමණක්‌ මුහුණ දුන්නේය. චන්දිමාල් ටෙස්‌ට්‌ තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ශතකයක්‌ වාර්තා කරන ලද එකම පිතිකරුවා බවට පත්විය.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට