නිරෝධායනය අවසන් කළ හේරත් නැවතත් වැඩට බසී

512

ශ්‍රී ලංකා හිටපු දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් දින 14ක නිරෝධායනයෙන් පසුව නැවතත් බංග්ලාදේශ කණ්ඩායම සමඟ එක්ව තිබෙනවා.

බංග්ලාදේශ දඟපන්දු යැවීමේ උපදේශක ලෙස එක්වූ රංගන හේරත් හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව පසුගිය දා තහවුරු වුනා. ඒ අනුව ඔහු දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්කෙරුනා.

එම කාලසීමාව අවසන් කිරීමෙන් අනතුරුව නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරග දෙකට පෙර ඔහුට කණ්ඩායමට එක්වීමට අවසර ලබා දී තිබෙනවා.

රංගන හේරත් නවසීලන්තයට පැමිණීමෙන් පසු COVID-19 වයිරස ආසාදනය වී ඇති බව තහවුරු වුනා. ඉන් අනතුරුව ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලයෙන් සමන්විත ටෙස්ට් සංචිතයේ තවත් සාමාජිකයින් 8 දෙනෙකු ද නිරෝධායනයට ලක්කර තිබුණා. ඒ මැලේසියාවේ සිට ඔවුන් සමඟ ගුවන් යානයේ පැමිණි අයෙකු කොරෝනා වයිරස ආසාදිත අයෙකු බව තහවුරු වීම නිසාවෙන්.

වයිරසය ආසාදනය වීමෙන් අනතුරුව ස්වයං නිරොධායනයෙන් අද මාව නිදහස් කළා. දැන් මම කණ්ඩායම සමඟ නැවත එක්වුනා. ඉක්මනින් කණ්ඩායමට නැවත පැමිණීම ගැන සතුටුයි. ඒ වගේම මේ නිරෝධායනයේ සති දෙකක කාලය මට ඉතාමත් දුෂ්කර වුනා.

නමුත් නැවත කණ්ඩායමට පැමිණීම සහ තරග සංචාරයට සහභාගී වෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. ඒ අතරම බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට සහ නවසීලන්ත සෞඛ්‍ය සේවයට මම ස්තුතිවන්ත වෙනවා. ඔවුන් මාව හොඳින් බලා ගත්තා”, හේරත් ඊයේ (26) පවසා සිටියා.

බංග්ලාදේශ කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ නිලධාරීන් රැසක් මෙලෙස නිරෝධායනයට යොමුකිරීම නිසා පුහුණු සැසි ද අතරමඟ නවතා දමා තිබුණා.

ක්‍රීඩකයින් පසුව දීර්ඝ නිරෝධායනයට යොමු කිරීම තරගාවලිය ඉදිරියට යෑම පිළිබඳව සැක කර තිබුණා. කෙසේ වෙතත් පසුගිය දෙසැම්බර් 21 වැනි දින සංචාරක බංග්ලාදේශ කණ්ඩායමේ සියලුම සාමාජිකයින් හට සිදු කළ කොරෝනා පරීක්ෂණවලින් ඔවුන්ට වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබුණා. ක්‍රීඩකයින්ට නැවත පුහුණුවීම් ආරම්භ කිරීමට අවසර ලබා දී තිබුණේ ඒ අනුවයි.

නවසීලන්ත තරගාවලිය සඳහා සිදු කරන අවසන් අදියරේ පුහුණු සැසි සඳහා සහභාගි වීමට බංග්ලාදේශය මේ වන විට Tauranga හි රැඳී සිටිනවා. නිරෝධායනය හේතුවෙන් ඔවුන්ට දෙසැම්බර් 22 සහ 23 දිනවල පැවැත්වීමට නියමිතව තිබූ දෙදින පුහුණු තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වූ නමුත් ඔවුන් දෙසැම්බර් 28 සහ 29 දෙදින නවසීලන්ත XI කණ්ඩායමට එරෙහිව දෙදින තරගයක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

නවසීලන්තය සහ බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ජනවාරි 1 වැනිදා Tauranga Bay Oval ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිතයි. දෙවැනි ටෙස්ට් තරගය ජනවාරි 9 වැනිදා සිට Christchurch හි Hagley Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<