ඕස්ට්‍රේලියා ක්‍රිකට් රහස්‍ය වාර්තාවක් මාධ්‍යයට නිකුත් වෙයි

1836

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයක රහස් වාර්තාවක් පසුගිය දා මාධ්‍ය විසින් මුදා හැර තිබුණා. මෙම ප්‍රවෘත්තිය ලොව පුරා දැඩි ආන්දෝලනයකට තුඩු දුන් අතර ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත් දින කීපයක නිහැඬියාව බිඳ දමමින් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි Nick Hockley අද (26) විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබුණා. එහි දී ඔහු ප්‍රකාශ කළේ “ප්‍රසිද්ධ” ක්‍රීඩකයෙකු විසින් මත්ද්‍රව්‍ය භාවිතා කළ බව කියන ප්‍රවෘත්තිය සහ එහි රහස්‍ය වාර්තාවක් මාධ්‍ය වෙත ලැබී තිබීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ඕස්ට්‍රේලියානු පොලිසිය වෙත පැමිණිල්ලක් සිදු කර ඇති බවයි.

මෙම සිදුවීමට අදාළ ප්‍රවෘත්තිය මුලින්ම පල කර තිබුණේ The Age නම් ඕස්ට්‍රේලියානු පුවත්පතක් විසින්. එහි දී ඔවුන් විසින් “ඉහළ පන්තියේ” මුදලට ලිංගික සේවයේ යෙදෙන කාන්තාවක් ලෙස තමන්ව විස්තර ක‍රන කාන්තාවක් සහ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ හිටපු ප්‍රධානී Sean Carroll අතර දුරකථන ඇමතුමක පටිගත කිරීමක් මුදාහැර තිබුණා. ඒ පසුගිය ඉරිදායි.

එහි දී මෙම කාන්තාව විසින් අදාළ ක්‍රීඩකයා කොකේන් නැමති මත්ද්‍රව්‍ය භාවිතා කරන බවත්, බොහෝ කාන්තාවන් සමඟ අශීලාචාර ලෙස හැසිරෙන බවත් ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් Nick Hockley පවසා සිටියේ හිටපු ක්‍රීඩකයා වටා ඇති චෝදනා සත්‍ය නොවන සහ පැරණි චෝදනා බවයි.

“මම අද උදේ මේ කියන ලිපිය දැක්කා. එම වාර්තා පදනම් විරහිතයි” Hockley වාර්තාකරුවන්ට පවසා සිටියා. “ඒවා ඉතාමත් පැරණි චෝදනා. ඒ වගේම රහසිගත ලිපිගොනුවල තිබුණු දේවල්. ඕනෑම රහසිගත තොරතුරක් සොරකම් කිරීම අපරාධයක්. මේ නිසා අපි ඒ සම්බන්ධයෙන් පොලිසියේ පැමිණිල්ලක් සිදු කළා. මේ ගැන අපි වික්ටෝරියා පොලිසියේ සහය ලබා ගන්න බලාපොරොත්තු වෙනවා.”

“රහසිගත ලිපි ගොනු ආරක්ෂිතව තබා ගැනීම අපේ ප්‍රමුඛ කාර්‍යයක්. නිසැකවම අපගේ ක්‍රියාවලීන් නිරපේක්ෂ වශයෙන් හොඳම ක්‍රියාවලි බව සහතික කිරීම සඳහා අපි ඒවා නිතිපතා සමාලෝචනය කරනවා.”

මෙම වාර්තා සම්බන්ධයෙන් Melbourne Daily පුවත්පත පවසා සිටියේ අදාළ පටිගත කිරීම නිර්නාමික ලිපිනයකින් සංකේතාත්මක විද්‍යුත් තැපැල් සේවාවක් හරහා පුවත්පතට යවා ඇති බවයි.

මෙම ලිපිගොනු පුවත්පතට ලබා දුන් නිර්නාමික පුද්ගලයා පවසා ඇත්තේ තමා “ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ පරීක්ෂණ ඒකකයේ අඩුපාඩු හෙළි කිරීමට අවශ්‍ය වූ හිටපු සේවකයෙකු” බවයි.

මීට සති කීපයකට පෙර ද ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ක්‍රියාපටිපාටි පිළිබඳව දැඩි කතාබහක් නිර්මාණය වී තිබුණා. ඒ මීට වසර කීපයකට Tim Paine සම්බන්ධ දුරකතන පණිවිඩ කීපයක් මාධ්‍ය වෙත නිකුත් වීමත් සමඟින්.

ඒ වන විට Tim Paine ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායකයා ලෙස කටයුතු කළ අතර ඔහු ඉන් අනතුරුව අළුබඳුන ආරම්භ වීමට පෙර ඕස්ට්‍රේලියානු නායකත්වයට සමුදුන්නා. පසුව ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට තාවකාලික විරාමයක් ලබා දීමට ද තීරණය කර තිබුණා.

Times of India ඇසුරෙනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<