සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනී

SLSCA U 19 Division I Limited Over Tournament 2026/27

3
Cricket

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද සහයෝගය ඇති ව සංවිධානය කරන අන්තර් පාසල් පළමු පෙළ Tier B එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සමත් වුණා.

මහනුවර ධර්මරාජ විද්‍යාලය සමඟින් (30දා) එම විද්‍යාලයීය පිටියේ දී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් සාන්ත ජෝසප් වාස් විද්‍යාලය කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගනිමින් මෙම කඩඉමට පිවිසෙනවා.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ධර්මරාජ විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 138ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිවිසි සාන්ත ජෝසප් වාස් විද්‍යාලය කඩුලු 5ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ධර්මරාජ විද්‍යාලයීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ තරිඳු වර්ණකුලගේ. ඔහු පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තා.

ඊට අමතර ව ගවේෂ් පූර්ණ පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී දකුණතින් පිට දඟ පන්දු යවන අමල් දෙනුවන් ලකුණු 18කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා.

ඊට අමතර ව ලොව්තුරු දිල්පහන් කඩුලු ද්විත්වයක් ද, දමේස් මතිශාන්, ජෙනුර කනිශ්ක, ඔශේන් බිනර සහ ටීශාන් මයෝන් කඩුල්ල බැගින් ද දවා ගත්තා.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලයීය පිළිතුරු ඉනිමේ පළමු කඩුලු 4 ලකුණු 27ක් තුළ දැවී ගියත් 5 වැනි කඩුල්ල සඳහා පන්දු 65ක දී ලකුණු 40ක සබඳතාවක් එක් කිරීමට සාවියෝ ප්‍රනාන්දු සහ මුතුරංග ද සිල්වා සමත් වෙනවා.

මුතුරංග ද සිල්වා පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 21කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.

ඉන් අනතුරු ව තරගය අවසන් වෙද්දී සාවියෝ ප්‍රනාන්දු සහ යසිත් ගිම්සර 6 වැනි කඩුල්ලට පන්දු 116ක දී නොදැවුණ ලකුණු 72ක සබඳතාවක් ගොඩ නගනවා. ඒ වෙද්දී සාවියෝ ප්‍රනාන්දු පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 51ක් ද සහ යසිත් ගිම්සර පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 41ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී මලීශ ගුණසේකර ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව සසිත් බණ්ඩාර සහ කේශන ගුණවර්ධන කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ධර්මරාජ විද්‍යාලය – සියලුම දෙනා දැවී 138 (40.1) ගවීෂ් පූර්ණ 34, තරිඳු වරණකුලගේ 59, ලොව්තුරු දිල්පහන් 2/32, අමල් දෙනුවන් 4/18
  • සාන්ත ජොස්ප් වාස් විද්‍යාලය – කඩුලු 5ක් දැවී 139 (39.0) සාවියෝ ප්‍රනාන්දු නොදැවී 51, මුතුරංග ද සිල්වා 21, යසිත් ගිම්සර නොදැවී 41, මලීශ ගුණසේකර 2/19

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට කඩුලු 5ක ජයක්.

අන්තර් පාසල් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේ තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<