ක්‍රිකට් දිවියට සමුදුන් Harbhajan Singh තවත් හෙළිදරව්වකට සූදානමින්

5485

ඉන්දීය කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ දඟපන්දු යවන ක්‍රීඩක Harbhajan Singh පසුගිය දා සිය ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගන්නා බව නිල වශයෙන් නිවේදනය කළා.

ඔහුගේ සමුගැනීමත් සමඟින් බොහෝ දෙනාගේ අවධානය යොමු වූ කරුණක් වූයේ 2008 වසරේ සිදු වූ Monkeygate සිදුවීමයි. මේ පිළිබඳව අදහස් දක්වමින් Harbhajan Singh පවසා සිටියේ Monkeygate සිදුවීම සම්බන්ධයෙන් තමන් නුදුරේ දී ම සත්‍ය හෙළිකිරීමට සූදානම් බවයි.

2007/08 වසරේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති බෝඩර් ගවස්කාර් කුසලාන ටෙස්ට් තරගාවලිය අතරතුර සිදු වූ මෙම Monkeygate සිදුවීම Harbhajan Singhගේ විශ්‍රාම යාමත් සමඟින් නැවතත් කරළියට පැමිණ තිබෙනවා.

Harbhajan Singh සිය වසර 23ක දීර්ඝ ක්‍රිකට් දිවිය නිමා කරමින් 2008 වසරේ ඉන්දීය ක්‍රිකට් කම්පනය කළ කුප්‍රකට Monkeygate සිදුවීම හෙවත් ඔහුගේ ක්‍රිකට් දිවියේ වඩාත්ම ආන්දෝලනාත්මක පරිච්ඡේදය පිටුපස ඇති සත්‍යය හෙළි කරන බවට හිටපු ඉන්දීය දඟපන්දු යවන්නා පොරොන්දු වී තිබෙනවා.

Harbhajan Singh සහ Andrew Symonds සිඩ්නි ටෙස්ට් තරගය අතරතුර

Harbhajan Singh සහ හිටපු ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Andrew Symonds අතර ඇති වූ මතභේදයක් මෙලෙස වාචික ගැටුමක් බවට පත්ව තිබුණා. මෙම සිදුවීම මහත් ආන්දෝලනයකට තුඩු දුන් අතර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හැසිරීම අප්‍රසන්න මුහුණුවරක් ගත් බව බොහෝ දෙනාගේ මතය වී තිබුණා.

සිඩ්නි හි පැවති ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දී එවකට ඕස්ට්‍රේලියානු නායක Rickey Ponting, Steve Bucknor සහ Mark Benson යන විනිසුරුවන්ට පැමිණිලි කරමින් පවසා සිටියේ Harbhajan Singh විසින් Symonds හට ‘වඳුරා’ ලෙස ආමන්ත්‍රණය කරමින් වාචිකව අපහාස කළ බවයි. ඉන් අනතුරුව කරුණු කාරණා උග්‍ර වූ අතර ඕස්ට්‍රේලියාව ලකුණු 122කින් ඉන්දියාව පරාජය කළ ද පසුව පැවති නඩු විභාගයක දී අධිකරණ ශාලාව තුළ ද තවත් සටනක් නිර්මාණය වී තිබුණා.

සුප්‍රසිද්ධ Monkeygate සිදුවීම අවාසනාවන්ත සිදුවීමක් ලෙස හඳුන්වමින් Harbhajan Singh පවසා සිටියේ එය ඔහුගේ වෘත්තීය ජීවිතයේ විශාලතම පහත වැටීම විය හැකි බවයි. Harbhajan Singh මීට පෙර කිසි දිනක මෙම සිද්ධිය ගැන විස්තරාත්මකව ප්‍රසිද්ධියේ කතා කර නැතත්, 41 හැවිරිදි ඔහු මෙම සිදුවීමේ සත්‍යය ඉදිරිපත් කරන බව පවසා තිබෙනවා.

එය අනවශ්‍ය දෙයක්. සිඩ්නි තරගයේ එදා සිදු වූ දේ සිදු නොවිය දෙයක්. මේකට හේතු වූ දේ ද සිදු නොවිය යුතු දෙයක්. එය ඇත්තෙන්ම අනවශ්‍ය ප්‍රශ්නයක්. නමුත් කවුද කිව්වේ කියන එක අමතක කරන්න. ඔබ සහ මම දෙදෙනාම දන්නවා සත්‍යයේ දෙපැත්තක් ඇති බව”, Harbhajan Singh ඉන්දීය මාධ්‍ය වෙත පවසා සිටියා.

මේ සිදුවීමේ මුළු කතාවේම මගේ සත්‍ය පැත්ත ගැන කිසිවෙක් සැලකුවේ නැහැ. එම සති කිහිපය තුළ මා අත්විඳින ලද දේ සහ මම මානසිකව බිඳී ගිය ආකාරය කිසිවකු ගණන් ගත්තේ නැහැ. මම කිසි විටෙකත් මගේ කතාව සත්‍ය ලෙස ලබා දී නැහැ. නමුත් මිනිසුන් ඒ ගැන දැන ගනීවි. මගේ ඉදිරියේ දී එන ස්වයං චරිතාපදානයේ මම මේ ගැන කතා කරනවා. මම සිදු වූ දේ කාටවත් සිදු නොවිය යුතුව තිබුණා.”

Harbhajan Singh සිය සමුගැනීම ප්‍රකාශ කරමින් පවසා සිටියේ තම වෘත්තීය ක්‍රිකට් දිවිය වසර 23ක් වුවද තමා ක්‍රීඩා කළ තරග ප්‍රමාණය අඩු වීම පිළිබඳව ඔහුට කිසිදු පසුතැවිල්ලක් නොමැති බවයි.

2011 එංගලන්ත සංචාරයේ දී ඇති වූ ආබාධය වැනි කරුණු කිහිපයක් තමාට වෙනස් කළ යුතු කරුණු ලෙස පැවතුණ ද, තමන් දැක්වූ දක්ෂතා පිළිබඳව සතුටු වන බව ඔහු පවසා සිටියා. 2011 වසරේ දී Harbhajan Singhගේ උදරයේ මාංශ පේෂී ඉරීමකට ලක් වූ අතර ඔහු සුවය ලබන විට පිතිකරණ හැකියාවෙන් පසුබෑමට ලක්ව සිටියා.

ඔහු ඉන්පසුව ක්‍රීඩා කළේ තරග අතලොස්සක් පමණක් වන අතර ඉන්දියාව වෙනුවෙන් ඔහුගේ අවසන් තරඟය ඔහු ක්‍රීඩා කළේ 2016 දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිවය.

ඒ අවස්ථාවේ දී කවුරුහරි මම ගැන සැලකිලිමත් වුනා නම් හෝ පුළුල් අර්ථයකින් මේ ගැන බැලුවා නම්, ඉන්දීය ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාව සහ එහි ක්‍රීඩකයින් හසුරුවන ආකාරය වෙනස් වෙන්න තිබුණා. නමුත් පසුතැවෙන්නට ඕනේ නැහැ. තීරණ ගන්නන් තමන්ට හරි යැයි හැඟෙන දේ කළා. ඉතින් මට කියන්න දෙයක් නෑ එදා මේ සිදුවීම මට තිත්ත අත්දැකීමක් වුනා. ඒත් දැන් එහෙම නැහැ.”

Harbhajan Singh ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 103ක්, එක්දින තරග 236ක් මෙන්ම විස්සයි විස්ස තරග 28ක් ක්‍රීඩා කර තිබෙනවා. ඔහු එහි දී පිළිවෙළින් කඩුලු 417ක්, 269ක් සහ 25ක් දවාගෙන තිබෙන අතර ටෙස්ට් තරගවල දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩක ලැයිස්තුවේ සිව්වැනි ස්ථානය ද ඔහුට හිමිව තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<