Dravid ඉන්දීය නායකත්වය ගැන හඬ අවධි කරයි

6488
Indian Express

Virat Kohli හා ඉන්දීය කණ්ඩායමේ නායකත්ව අර්බුදය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Rahul Dravid සිය හඬ අවදි කර තිබෙනවා. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිව පළමු ටෙස්ට් තරගයට පෙර පැවති මාධ්‍ය හමුවක දීයි.

Kohli ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වූ පසුව පෙරළිකාර ප්‍රකාශයක් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති Sourav Ganguly පවසා සිටියේ නායකත්වයෙන් ඉවත් නොවන ලෙස ඔහු Kohliගෙන් ඉල්ලා සිටි බවයි.

කෙසේ වෙතත් Kohli පවසා සිටින්නේ එවන් සාකච්ඡාවක් ඇති නොවූ බවත්, දකුණු අප්‍රිකා ටෙස්ට් කණ්ඩායම නම් කිරීමට පැය එක හමාරකට පෙර තමාව එක්දින නායකත්වයෙන් ද ඉවත් කර ඇති බව දැන්වූ බවයි.

Kohliගේ එම ප්‍රකාශය නිසා ඉන්දීය ක්‍රීඩකයින් හා ක්‍රිකට් පරිපාලකයින් අතර ඇති වූ ගැටලු පිළිබඳව දැඩි කතාබහක් මතු වුනා. මේ පිළිබඳව දීර්ඝ කාලයක් කිසිදු අදහසක් නොදක්වා සිටි Dravid ඉන්දීය කණ්ඩායම දකුණු අප්‍රිකාවට පිටව යෑමට පෙර මේ පිළිබඳ සිය අදහස් පළ කර තිබුණා.

“අවංකවම කියනවා නම් ඒක ක්‍රිකට් තේරීම් කමිටුවේ රාජකාරියක්. මට කරන්න තිබුණු දේවල් ගැන හෝ කරපු දේවල් ගැන කතා කරන්න මේක වෙලාව හෝ තැන නෙවෙයි. අභ්‍යන්තර සංවාද මාධ්‍යයට කියන්න මේක ස්ථානය නෙවේ.”

කෙසේ වෙතත් ඉන්දීය ටෙස්ට් නායකයාව වර්ණනා කරන්නට Dravid අමතක කළේ නැහැ. “Viratට කණ්ඩායමේ ලොකු රාජකාරියක් තියෙනවා. නායකයෙක් වශයෙන් මෙන්ම ක්‍රීඩකයෙකු වශයෙනුත්. ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔහු ටෙස්ට් ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩකයෙක්. ඔහුට හොඳ තරගාවලියක් ක්‍රීඩා කරන්න පුළුවන් නම් එකේ වාසිය කණ්ඩායමටත් ලැබෙනවා.”

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග තුනකින් සමන්විත තරගාවලිය හෙට (26) Centurion හිදී ආරම්භ වීමට නියමිතයි.

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<