Ramiz Raja පාකිස්තාන ක්‍රිකට් පාලකයින් විකටයින්ට සමාන කරයි!

995

හිටපු ශ්‍රී ලංකා පුහුණුකරු Mickey Arthurව පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂක ධුරය සඳහා පත් කිරීම පිළිබඳ ව හිටපු පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති Ramiz Raja විසින් සිය දැඩි අප්‍රසාදය පළ කර තිබෙනවා.

ඊයේ (20) පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ හිටපු පුහුණුකරු Mickey Arthur මහතාව (ඔහු ශ්‍රී ලංකාවේ පුහුණුකරු වීමට ප්‍රථම පාකිස්තාන කණ්ඩායමේ ද පුහුණුකාර ධුරය දැරුවා) පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂක ලෙස පත් කරනා බවයි.

නමුත් ඔහු මේ වන විටත් Derbyshire ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම සමඟ ද සම්බන්ධ වී සිටින බැවින් පාකිස්තාන කණ්ඩායම සමඟ නිරන්තරයෙන් ම සංචාර වලට එක් නොවන බවත් PCBය විසින් ප්‍රකාශ කර තිබෙනවා.

“ඔහු 2023 ICC ලෝක කුසලානය, ඕස්ට්‍රේලියානු තරග සංචාරය වගේ ම බටහිර ඉන්දීය කොදෙව් සමඟ තරගාවලියේ දීත් පුහුණු කාර්ය මණ්ඩලය සමඟ වැඩ කරාවි. ඒ වගේ ම ආසියානු කුසලානයේ ඉන්දියාවට එරෙහි තරගවල දීත් පාකිස්තාන කණ්ඩායම සමඟ රැඳී සිටීවි.”

Arthur විසින් පාකිස්තාන කණ්ඩායම පිටුපස හිඳිමින් උපායමාර්ග සැලසුම් කිරීම්, සැකසීම් සහ අධීක්ෂණය කිරීම් වලට සහයෝගය ලබා දෙනු ඇති බවයි PCBය විසින් වැඩිදුරටත් මෙම තනතුර සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබුණේ.

නමුත් වත්මන් PCB සභාපති Najam Sethiගේ පත්වීමට ප්‍රථම PCB සභාපති ධුරය දැරූ, එමෙන් ම 1992 ලෝක කුසලානය ජයග්‍රහණය කළ පාකිස්තාන කණ්ඩායමේ සාමාජිකයකු ද වූ Ramiz Raja විසින් පවසන්නේ මෙම පත් කිරීම ගමේ සර්කස් එකක විකටයකු කරනා අන්දමේ පිස්සු ක්‍රියාවක් බවයි.

“පාකිස්තාන ක්‍රිකට් වල රැකියාවට වඩා ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ රැකියාවට මුල් තැන දෙමින් පාකිස්තාන ක්‍රිකට් පිළිබඳ තීරණ දුරස්ථ ව සිටිමින් ගන්නා කෙනෙක් අධ්‍යක්ෂකවරයා ලෙස තෝරා ගෙන තිබෙනවා. මේක ගමේ සර්කස් එකක විකටයෙකු කරනවා වගේ පිස්සු වැඩක්.”

මීට පෙර Ramiz Raja විසින් සිය ධුරයෙන් ඉවත් වීම සහ Najam Sethiගේ පත්වීම පිළිබඳ ව ද යම් යම් මත ගැටුම් නිර්මාණය වී තිබූ අතර, Raja විසින් සිය තනතුර අහිමි වීමෙන් පසුව පත් වූ පාලනාධිකාරය බොහෝ අවස්ථා වල නිර්දය ලෙස විවේචනය කළා.

“මාසයකට ලක්ෂ 12ක පමණ වැටුපක් ගන්න නමුත් දේශපාලනික, පටු මනසක් සහිතව පාකිස්තාන ක්‍රිකට් කටයුතු මෙහෙයවන, ක්‍රීඩා සමාජ තරගයක මුල් එකොළොස් දෙනා අතරටවත් එන්න සුදුසු නැති, ක්‍රිකට් ගැන තේරුමක් නැති PCB සභාපතිවරයෙක්.”

Ramiz Raja විසින් තමන්ගෙන් පසුව PCB සභාපති ධුරයට පත් වූ Najam Sethi ව හඳුන්වා දෙන්නේ ඒ ආකාරයෙනුයි.

එමෙන් ම Mickey විසින් මේ වන විට වගකීම් දරන Derbyshire ප්‍රාන්ත කණ්ඩායමේ විධායක Ryan Duckett විසින් සඳහන් කර තිබුණේ, පාකිස්තාන ක්‍රිකට් විසින් Mickeyව සම්බන්ධ කර ගැනීමට දැරූ පළමු උත්සාහයේ පටන් ඔහු විසින් තමන් වෙත සියලු දැනුවත් කිරීම් සිදු කළ බවයි. එමෙන් ම ඔහු පාකිස්තානය සමඟ ගිවිසුම් ඇති කර ගත්ත ද ප්‍රධාන වශයෙන් ම ඔහුගේ අවධානය Derbyshire වෙත ලබා දෙනු ඇති බවත් Duckett විසින් පවසා තිබුණා.

2025 වසර තෙක් Derbyshire සමඟ රැඳී සිටීමට Mickey විසින් ගිවිසුම් ගත වී සිටිනවා.

එමෙන් ම පාකිස්තානයෙන් Mickey වෙත මෙතරම් ඉහළ ඉල්ලුමක් ලැබීමට ප්‍රධානතම හේතුව වන්නේ මීට පෙර ඔහු විසින් පුහුණුකාරීත්වය දැරූ කාලසමයේ (2016 – 2019) පාකිස්තාන කණ්ඩායම දැක්වූ ඉහළ දස්කම් බව අනුමාන කළ හැකියි. එම කාලසමය තුල පාකිස්තානය විස්සයි විස්ස සහ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි අංක 1ට පැමිණීමට සමත් වූ අතර, 2017 ශූරයින්ගේ කුසලානය ද ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<