පන්දු යවන්නන් සමඟින් එක්වුනු වෝනර් දිල්ලියේ ඉඩෝරය නිමා කරයි!

301

පන්දු යවන්නන්ගේ අති විශේෂ දක්ෂතාත්, David Warnerගේ අර්ධ ශතකයත් නිසා තම ජයග්‍රහණ ඉඩෝරය නිමා කරමින් මෙවර Indian Premiere League තරගාවලියේ මංගල ජය වාර්තා කරන්නට ඊයේ (20) Delhi Capitals කණ්ඩායම සමත් වුනා. ඒ Kolkata Knight Riders කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමින්.

තරගයේ කාසියේ වාසියට හිමිකම් කියූ Delhi නායක David Warner මුලින් පන්දුවට පහර දීමට Knight Riders කණ්ඩායමට ආරාධනා කළා. ඒ අඩු ලකුණු සංඛ්‍යාවකට තම ප්‍රතිවාදීන් සීමාකර ගැනීමේ අටියෙන්. ඊට Delhi පන්දු යවන්නන් ද සාර්ථක ප්‍රතිචාරයක් ලබා දුන්නා. ඒ ලකුණු 32ක් තුල Kolkata මුල්පෙළ පිතිකරුවන් තිදෙනෙක් ක්‍රීඩාගාරයට හරවා යවමින්.

වසර 2කට ආසන්න කාලයක් නිහඬව සිටි Ishant Sharma අද දිල්ලියට වාසනාව ගෙන ආවේ පවර්ප්ලේ පන්දුවාරවල දී Kolkata පිතිකරුවන් සෑහෙන දුරකට නිහඬ කරමිනුයි. ඉන් ප්‍රයෝජන ගත් Mukesh Kumar සහ Anrich Nortje අනෙක් අන්තයෙන් කඩුලු දවා ගත්තා. ඊයේ තරගය නැරඹීම සඳහා APPLE සමාගමේ විධායක අධ්‍යක්ෂ Tim Cook මහතා ද සහභාගි වී සිටීම විශේෂත්වයක්.

නායක Nitish Rana ඊයේ රැස් කළේ ලකුණු 4ක් පමණයි. මේ වන විට KKR ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය තරුවක් බවට පත්ව සිටින Rinku Singh ලකුණු 6කට දැවී ගියා. එක් අන්තයකින් කඩුලු පෙරහැරක් යද්දී අනෙක් අන්තයේ තනි වූ Jason Roy පන්දු 39කින් ලකුණු 43ක් රැස් කළා. ඒ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟින්.

Delhi පන්දු යවන්නන්ගේ තර්ජනය හමුවේ වරෙක Kolkata Knight Riders ඉනිම දැක්වුණේ ලකුණු 96ට කඩුලු 9ක් ලෙසයි. කලක් IPL පිටියේ පතාක යෝධයෙක් ලෙස පෙනී සිටි නමුත් මෙවර තරග සමයේ ලකුණු අතර නොසිටි Andre Russell ඊයේ පන්දු 31කින් නොදැවී ලකුණු 38ක් ලබා ගත්තා.

අවසන් පන්දුවාරයේ දී ඔහු Mukesh Kumarට පිට පිටම එල්ල කරන ලද හයේ පහර 3 නිසා Kolkata ක්‍රීඩකයින්ට තම පන්දුවාර 20 අවසානයේ ලකුණු 127ක් ලබා ගැනීමට හැකි වුනා. පන්දු යැවීමේ දී Mitchell Marsh හැරෙන්නට අනෙක් සියලු පන්දු යවන්නන් තම යුතුකම් අකුරටම ඉටු කරද්දී Ishant, Axar, Nortje සහ Kuldeep කඩුලු 2 බැගින් බිඳ හෙළුවා.

මෙම ලකුණු ප්‍රමාණය මෙවර IPL තරගාවලියේ හඹා යන්නට ලැබුණු අඩුම ලකුණ වූ නිසා බොහෝ දෙනා බලාපොරොත්තු වුනේ ඉතා පහසුවෙන් Delhi ක්‍රීඩකයින් මෙම ඉලක්කය හඹා යනු ඇති බවයි. නමුත් විටින් විට කඩුලු බිඳ වැටීම නිසා අඩුවන ලකුණු වේගය තරගය අවසන් පන්දුවාරය දක්වාම රැගෙන ආවා.

Delhi ඉනිමට සවිය ගෙන දුන්නේ කවදත් ලකුණු අතර සිටින ආරම්භක පිතිකරු David Warner ලබා ගත් ලකුණු 57 සහ Axar Patel තරගය ජය ගන්නා තුරුම කඩුල්ලේ රැඳී සිටිමින් ලබාගත් ලකුණු 19යි. පන්දු 41කට ක්‍රීඩා කළ Warner එහි දී හතරේ පහර 11ක් එල්ල කරනු ලැබුවා. අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය සඳහා ලකුණු 7ක් ලබා ගැනීමට Delhi Capitals කණ්ඩායමට සිදු වුනා.

පිටියේ රැඳී සිටි Axar Patel ද්විත්ව ලකුණු 3ක් සඳහා දිව යමින් එම අභියෝගය සාර්ථකව සම්පූර්ණ කළා. පන්දු 22කට මුහුණ දුන් Axar Patel එහි දී නොදැවී ලකුණු 19ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Varun Chakaravarthy, Anukul Roy සහ Nitish Rana කඩුලු 2 බැගින් බිඳ හෙළුවත් ඔවුන්ට Delhi කණ්ඩායමේ මංගල ජයග්‍රහණය වැළැක්වීමට හැකි වුනේ නැහැ.

  • Kolkata Knight Riders – සියල්ලන්ම දැවී ලකුණු 127 (පන්දුවාර 20): Jason Roy 43, Andre Russell 38, Mandeep Singh 12, Axar Patel 2/13, Ishant Sharma 2/19, Kuldeep Yadav 2/15.
  • Delhi Capitals – කඩුලු 6ක් දැවී ලකුණු 128 (පන්දුවාර 2): David Warner 57, Manish Pandey 21, Axar Patel 19*, Prithvi Shaw 13, Nitish Rana 2/17, Varun Chakaravarthy 2/16.

මෙම තරගයේ දී Axar Patelගෙන් තුන් ඉරියව් දස්කම් මතු වුනත් තරගයේ වීරයා ලෙස සම්මාන දිනුවේ IPL පිටියට පුනරාගමනය කළ Ishant Sharmaයි. Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ අද (21) ක්‍රියාත්මක වන්නේ Chennai Super Kings සහ Sunrisers Hyderabad කණ්ඩායම අතර තරගයයි.

බොහෝ විට මෙම තරගය සඳහා මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ යන ක්‍රීඩකයින් දෙදෙනාම සහභාගි වන්නට ඉඩ තිබෙනවා. මෙම තරගයේ උණුසුම මෙන්ම IPL තරගාවලියේ සියලු තරග වල මිහිර සජීවීව විඳ ගන්නට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<