Surrey සාර්ථකත්වයට වෙල්ලාලගේ හරස් කපයි

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

10295
Dunith Wellalage

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ තෙවැනි සහ අවසන් සිව්දින තරගය පසුගිය 20 වැනිදා ආරම්භ වුනා.

තරගයේ තෙවැනි දිනය වූ ඊයේ (22) දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලබා ගත් ලකුණු 372ට පිළිතුරු දෙමින් සිටි Surrey කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 482ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකාවට වඩා ලකුණු 110ක් ඉදිරියෙන් සිටිමින්.

දිනය තුල ක්‍රියාත්මක කෙරුණු පන්දුවාර 97කුත් පන්දු 4 තුල ලකුණු 286කට කඩුලු 7ක් දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැක වූ අතර එහි දී වමතින් දඟපන්දු යවන 19 හැවිරිදි දුනිත් වෙල්ලාලගේ කැපී පෙනෙන දස්කම් දක්වමින් කඩුලු 4ක් දවා ගත්තා.

දිනය ආරම්භ වන විට Surrey කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 196ක් වාර්තා කරගෙන ප්‍රබල තැනක පසුවුනු අතර ඒ වන විට Ryan Patel සහ Ben Geddes පිළිවෙළින් ලකුණු 109*ක් සහ ලකුණු 75*ක් ලබාගෙන සිටියා.

ඔවුන් දෙදෙනා තෙවැනි දිනයේ පළමු පන්දුවාර 12 තුල දවා ගැනීමට වෙල්ලාලගේ සමත් වුනු අතර ඒ වන විට Ryan සහ Geddes පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 227ක සාර්ථක සබඳතාවක් ගොඩනංවා තිබුණා.

එම සුපිරි සබඳතාවය බිඳ දමමින් සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ තෙවැනි ශතකය සමඟ ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගෙන සිටි Ryan ලකුණු 126කට දැවී ගිය අතර ඔහුගේ ඉනිම 4 පහර 12කින් සහ 6 පහර 4කින් වර්ණවත් වී තිබුණා.

කඩුලු රකින පිතිකරු Jamie Smith අංක 3 පිතිකරු ලෙස පැමිණ පන්දුවට පහර දෙමින් කඩුල්ලේ ස්ථාවරව සිටිය දී සිය මංගල පළමු පෙළ ශතකය ලබා ගත් Ben Geddes 4 පහර 11ක් සහ එක් 6 පහරක් සමඟ ලකුණු 104ක් ලබාගෙන සිටිය දී දවා ගැනීමට නුවනිඳු ප්‍රනාන්දු සමත් වුනා.

කඩුලු 2ක් දැවී ලකුණු 257ක් ලබාගෙන ප්‍රබල තැනක පසුවුණු Surrey මැදපෙළ සවිමත් කිරීම ආරම්භ කළ Smith සහ මේ තරගයේ දී පළමු පෙළ වරම් දිනා ගත් 21 හැවිරිදි Nico Reifer තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක සබඳතාවයක් ගොඩනැංවූවා.

වෙල්ලාලගේ සහ නුවනිඳු එක්ව නිලකුණු පන්දු වැඩි ප්‍රමාණයක් යොමු කරමින් ගොඩනැංවූ පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස 4 පහර 4ක් එල්ල කරමින් ලකුණු 45ක් ලබාගෙන සිටි Smithගේ කඩුල්ල තමන් සතු කර ගැනීමට වෙල්ලාලගේට හැකි වුනා.

පසුපෙළ පිතිකරුවෙක් ලෙස සාමාන්‍යයෙන් ක්‍රීඩා කරන Gus Atkinson හට මේ තරගයේ දී පිතිකරණ ලැයිස්තුවේ උසස් වීමක් ලබා දෙමින් අංක 5 පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට අවස්ථාවක් උදා වුණු අතර එයින් උපරිම ඵල නෙළා ගත් ඔහු සිය පළමු පෙළ ක්‍රිකට් දිවියේ ලබා ගත් දෙවැනි අර්ධ ශතකය සහ ඉනිමක වාර්තා කර ගත් හොඳම ලකුණු ප්‍රමාණය ලබාගෙන පන්දු 131ක් තුල ලකුණු 91ක් ලබා ගත්තා.

අනෙක් පිතිකරුවන්ට සාපේක්ෂව තරමක් වැඩි වේගයකින් පන්දුවට පහර දුන් Atkinsonගේ ඉනිමට 4 පහර 8ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනා. සිය මංගල පළමු පෙළ තරගයේ දී ම මංගල අර්ධ ශතකය ලබා ගත් Reifer ලකුණු 68කට දැවී ගිය අතර එම කඩුල්ල නුවනිඳුගේ කඩුලු අතරට එක් වුනා.

ලකුණු 423 කට කඩුලු 4ක් දැවී ගොස් තිබුණු Surrey පළමු ඉනිමේ මැදපෙළ කඩුලු 3ක් ලකුණු 59ක් තුල දවාගෙන දිනයේ ක්‍රියාත්මක කෙරුණු අවසන් පන්දු 50 තුල වැඩි සාර්ථකත්වයක් ළඟා කර ගැනීමට දඟපන්දු යවන වෙල්ලාලගේ, නුවනිඳු සහ වේගපන්දු යවන යසිරු රොද්‍රිගෝ ඇතුළු ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයින්ට අවස්ථාව ලැබුණා.

නායක Cameron Steel  සහ Tom Lawes පිළිවෙළින් ලකුණු 13කට සහ ලකුණු 8කට දැවී ගියා. දිනය අවසන් වන විට නොදැවී ක්‍රීඩා කරමින් කඩුල්ලේ රැඳී සිටින Brett Hutton ලකුණු 5*යි.

ශ්‍රී ලංකා නැගී එන පළමු ඉනිම – 372/9d (102): නිපුන් ධනංජය 150*, අවිශ්ක තරිඳු 48, දුනිත් වෙල්ලාලගේ 46, ලසිත් කෘස්පුල්ලේ 32, Tom Lawes 3/34, Amar Virdi 2/45.

Surrey ප්‍රාන්ත පළමු ඉනිම (තෙවැනි දිනය අවසානයේ) – 482/7 (154.4): Ryan Patel 126, Ben Geddes 104, Gus Atkinson 91, Nico Reifer 68, Jamie Smith 45, දුනිත් වෙල්ලාලගේ 4/127.

තරගයේ සිව්වැනි දිනය අද (23) ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30ට ආරම්භ වීමට නියමිතයි. එහි තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<