පාකිස්තානයෙන් PSL වලට කනිෂ්ඨ ලීගයක්

334

පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) විසින් එරට පැවැත්වෙන ප්‍රමුඛතම ලීග් තරගාවලිය වන පාකිස්තාන සුපර් ලීග් (PSL) තරගාවලිය වයස අවුරුදු 19න් පහළ කාණ්ඩය දක්වා ගෙන යාමට බලාපොරොත්තු වන බව වාර්තා වනවා.

එලෙස 19න් පහළ තරගාවලියක් ප්‍රකාශයට පත් කිරීම මගින් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීග් රටාව පහළ වයස් කාණ්ඩ මට්ටමට ගෙන යාමට ඔවුන් සැලසුම් කර තිබෙනවා. එම තරගාවලිය පාකිස්තාන කනිෂ්ඨ ලීගය (Pakistan Junior League) ලෙස නම් කර ඇති අතර එම තරගාවලිය ලෝක කනිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා විශාල අවස්ථාවක් වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරනවා.

“මේ තරගාවලිය මූලික වශයෙන් ඉලක්ක කර ඇත්තේ මේ කනිෂ්ඨ ක්‍රීඩකයන් අතර තරගකාරිත්වය වැඩි කිරීම, ඔවුන්ට දස්කම් දක්වන්න වැඩි අවස්ථාවක් ලබා දීම සහ වෘත්තීමය වටපිටාවක් තුළ ක්‍රීඩකයන්ට නිරාවරණය වෙන්න අවස්ථාවක් ලබා දීමයි”, පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති Ramiz Raja සිකුරාදා (අප්‍රේල් 15) Cricbuzz වෙත අදහස් දක්වමින් පවසා සිටියා.

“මේ තරුණ ක්‍රීඩකයන් ඔවුන්ගේ සම වයසේ ක්‍රීඩකයන් සමඟ තරඟ කිරීමට හැකි වේවි. ඒ වගේම ලෝකයේ හොඳම පුහුණුකරුවන් විසින් ඔවුන්ව පුහුණු කරාවි. මේ කණ්ඩායම්වල හොඳම ජාත්‍යන්තර ක්‍රීඩකයන් සිටීවි”

Ramizගේ ඉලක්කය වන්නේ මාස කිහිපයකින් මෙම තරගාවලියේ පළමු සංස්කරණය දියත් කිරීමයි. බොහෝ විට ඔක්තෝබර් මාසයේ දී එය පැවැත්වීමට හැකි වනු ඇතැයි ඔහු බලාපොරොත්තුවෙන් පසුවනවා.

වත්මන් සැලසුම්වලට අනුව මෙම තරගාවලිය කණ්ඩායම් පහක් අන්තර්ගත වන තරගාවලියක් වනු ඇත. සෑම කණ්ඩායමකටම හිටපු ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයන් උපදේශකයින් ලෙස නම් කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.

“තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට දීප්තිමත් අනාගතයක් සහ විශිෂ්ට පරිසරයක් අවශ්‍ය වෙනවා. ඔවුන්ට මීට වඩා අවශ්‍ය වන්නේ මොනවා ද? යොවුන් ක්‍රීඩකයින් සඳහා ඉහළ ඉපැයීම් සහතික කරන කෙටුම්පත් ක්‍රමයක් අපි සැලසුම් කරමින් ඉන්නවා”, Ramiz Raja හෙළි කළා.

“සෑම කණ්ඩායමකටම Viv Richardsගේ තරාතිරමේ උපදේශකයෙකු එක් කරනවා”, ඔහු පවසනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ වත්මන් සැලසුම්වලට අනුව මෙම යොවුන් ලීග් තරගාවලිය දින 15ක් පමණ පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

Ramiz Rajaට අනුව ඔවුන් මෙම සැලැස්ම ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇති අතර ඔවුන් සියල්ලෝම අදහසට එකඟ වී තිබෙනවා.

“මේ සඳහා සැලසුම් කිරීම බොහෝ කලක සිට සිදුවෙමින් පැවතුණා. ඩුබායි හි මෑතකාලීනව පැවති රැස්වීම්වල දී අපි අපගේ සැලසුම් ගැන ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය දැනුවත් කළා. ඔවුන් මෙම ව්‍යාපෘතියට බෙහෙවින් උනන්දු වූ බවක් පෙනෙන්නට තිබුණා”, Ramiz Raja පවසනවා.

කෙසේ වෙතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) 19න් පහළ වයස් කාණ්ඩවල ක්‍රීඩකයින්ට විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා ඉඩ නොදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. මේ පිළිවඳව අදහස් දක්වමින් Ramiz Raja පවසා සිටියේ කනිෂ්‍ඨ ක්‍රීඩකයන්ට විස්සයි විස්ස තරග සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීමේ කිසිදු වැරැද්දක් තමා නොදකින බවයි.

“විස්සයි විස්ස ක්‍රීඩාව හරහා ඔවුන් විවිධ පීඩන තත්වයන්ට නිරාවරණය වෙනවා. එවැනි වේගවත් සහ පීඩනයක් සහිත පරිසරයක ලකුණු රැස් කිරීම සහ කඩුලු ලබා ගැනීම ගැන ඔවුන්ට අවබෝධයක් ලැබේවි. ඒ වගේ අවස්ථාවල ක්‍රීඩා කරන්නේ කෙසේ දැයි දැන ගනීවි. ඔවුන් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට්වලට පිවිසෙද්දී මේ අත්දැකීම ඔවුන්ට ලොකු උදව්වක් වේවි. ඔවුන් එවැනි තරග තත්වයන්ට හුරුවී සිටීවි”.

මෙම තරගාවලිය සඳහා සහභාගී වන සෑම ක්‍රීඩකයෙකුටම ඔහු සමඟ දෙමාපියෙකු සමඟින් තරගාවලියට සහභාගී වීමට ඉඩ ලබා දෙන බව ද Ramiz Raja පැහැදිලි කර තිබුණා.

“අපි පාකිස්තාන කනිෂ්ඨ ලීග් තරගාවලියේ දී ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත තරු බිහිකරනවා”, Ramiz Raja අවසන් වශයෙන් පවසා සිටියා.

Cricbuzz ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<