ක්‍රීඩකයින් ගැන විමසිල්ලෙන් ඉන්න බිරින්දෑවරුන් ඉන්දියාවට යැවූ PCBය

6459
Wives of PAK cricketers sent to India in 2012

2013 වසරේ දී අවසන් වරට ක්‍රියාත්මක වූ ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියට පෙරාතුව තම ක්‍රීඩකයින්ගේ සහ රටේ ප්‍රතිරූපය ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කිරීමට සිදු වූ විවිධ උපායමාර්ග සම්බන්ධයෙන් එවකට පාකිස්තාන ක්‍රිකට් ආයතන සභාපති Zaka Ashraf මහතා අනාවරණය කර තිබුණේ එහි දී ගනු ලැබූ එක් සුවිශේෂ තීරණයක් පිළිබඳව වැඩි අවධානය යොමු කරමිනි.

ඒ අනුව ක්‍රීඩකයින් සමඟ ඔවුන්ගේ භාර්යාවන් හට ද තරග සංචාරය සඳහා එක්වීමේ අවස්ථාව සලසා දීමට PCBය කටයුතුකොට කර තිබුණේ ක්‍රීඩකයින්ගේ කීර්තිනාමයට කැළලක් විය හැකි සිදුවීමක් හෝ සිදුවීම් මාලාවක් වළකාලීමේ මූලික අරමුණෙනි.

“මගේ ධුර කාලසීමාව තුල තමයි පාකිස්තාන කණ්ඩායමක් අවසන් වතාවට ඉන්දියාවේ තරග සංචාරයකට එකතු වුනේ. ඒ තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් එක්ක ඔවුන්ගේ බිරින්දෑවරුන්ටත් පැමිණීමට අවශ්‍ය වටපිටාව අපි සකස් කරලා දුන්නා. අපිට ඒ වගේ තීරණයක් ගන්න මූලිකවම හේතුපාදක වුනේ, අපි දන්නවා ඕනෑම බිරිඳක් තමන්ගේ ස්වාමිපුරුෂයා ගැන අවධානයෙන් ඉන්නේ කියලා. ඉතින් ඉන්දියානු මාධ්‍ය විසින් නිර්මාණය කරන්න ඉඩ තිබුණු ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් අපිට මේ නිසා මඟහැර ගන්න පුළුවන්කම ලැබුණා.”

“හැමෝම එම සංචාරය අතරතුර දී ඉතාමත් හොඳින් විනය නීති කඩ නොකොට තමන්ගේ උපරිම සහයෝගය පාකිස්තාන ක්‍රිකට් ආයතනය වෙත ලබා දුන්නා. අපි ඉන්දියානු සංචාරයක නිරත වුන හැම අවස්ථාවක දී ම අපේ රට සහ ක්‍රීඩකයින් අපකීර්තියට පත්වෙන ආකාරයේ සිදුවීම් සහ පුවත් නිර්මාණය කිරීම සුලබව සිදු වුන දෙයක් නමුත් අපිට මේ ගත්ත ක්‍රියාමාර්ගය නිසා සෑහෙන ප්‍රමාණයකට වළකා ගැනීමට හැකි වුනා”, යනුවෙන් Ashraf මහතා සඳහන්කොට තිබුණි.

ඉන්දු-පාකිස්තාන දේශ සීමා අර්බුදය ඇතුළු රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් පවත්නා ගැටලු රාශියක් හේතුවෙන් මේ දක්වා දෙරට අතර ක්‍රියාත්මක කොට ඇති අවසන් ක්‍රිකට් තරගාවලිය පවත්වා ඇත්තේ 2013 වසරේ දී වීම කැපී පෙනේ.

විස්සයි විස්ස තරග 2කින් සහ එක්දින තරග 3කින් සමන්විත වූ එම තරග සංචාරය අවසන් වූයේ එක්දින තරගාවලියේ ජය 2-0ක් ලෙස පාකිස්තාන කණ්ඩායමටත්, T20 තරගාවලිය එක් තරගය බැගින් ජයග්‍රහණය කරමින් දෙපිලටම සමශූරතාව හිමි කරදෙමිනි.

මෙම තරගාවලියෙන් අනතුරුව අවස්ථා කිහිපයක දී ම ඉන්දියානු ක්‍රිකට් ආයතනය සමඟ ද්විපාර්ශ්වික ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීමට දැඩි ප්‍රයත්නයක් දැරූ නමුත් එය යථාර්ථයක් කරගැනීමට දෙපාර්ශවයන්ම ලැබුණු සහයෝගය අවම මට්ටමක පැවතීම නිසාවෙන් ඉන් අනතුරුව කිසිදු ද්විපාර්ශ්වික තරගාවලියක් මේ වන තුරුත් පැවැත්වීමේ අවකාශයක් උදා වී නොමැත.

“ක්‍රිකට් සම්බන්ධයෙන් රටවල් දෙකම අනුගමනය කරන ප්‍රතිපත්තියේ වෙනසක් සිදු විය යුතුයි. දේශපාලනයි ක්‍රීඩාවයි කොයිම වෙලාවකවත් පටලවා ගත යුතු නැහැ. අපි ඉන්දියාවට ගිය අවස්ථාවක දී ඔවුන්ට අපි ආරාධනා කළා සීමිත පන්දුවාර තරගාවලියකට පාකිස්තානයට එන්න කියලා.”

“ඒ කාලයේ BCCI සභාපතිවරයා ලෙස කටයුතු කළේ Narayanaswami Srinivasan මහතා. ඔහු සඳහන් කළේ ඉන්දීය කණ්ඩායමේ ආරක්ෂාව පාකිස්තාන භූමිය තුල තහවුරු කරන්න පුළුවන් නම් ඒ ගැන සලකා බැලිය හැකි කියලයි. නමුත් එතැනින් එහාට ඒ ගැන කිසිදු සාකච්ඡාවක් පැවැත්වුණේ නැහැ.”

Hindustan Times ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<