ඉන්දීය ප්‍රධාන දඟපන්දු යවන්නෙකුට කොරෝනා

ඉන්දීය කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2021/22

211

ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක Ravichandran Ashwin හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඉන්දියාව සහ එංගලන්තය අතර ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සඳහා පිටත් වීමට පෙර සිදු කළ පරික්ෂාවක දී ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුණා.

එම නිසාවෙන් ඔහුට කණ්ඩායම සමඟ එංගලන්තයට පිටත් වීමට නොහැකි වූ අතර Ashwin මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුව තිබෙනවා.

පසුගිය වසරේ පැවති ඉන්දියාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගාවලියේ අවසන් තරගය කොරෝනා වසංගතය නිසාවෙන් කල් දැමීමට සිදු වූ අතර පසුව එය මෙම වසරේ ජූලි මාසයේ පැවැත්වීමට තීරණය කළා.

මේ වන විට තරගාවලියේ 2-1ක් ලෙස පෙරමුණේ පසුවන ඉන්දියාවට තරගාවලිය ජයග්‍රහණය සඳහා මෙම සුවිශේෂී තරගය ඉතා වැදගත් වන අතර Ashwin හැර අනෙකුත් ක්‍රීඩකයින් ජුනි 16 වැනිදා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබුණා.

“එංගලන්තයට පිටත් වීමට පෙර කළ කොරෝනා පරික්ෂාවකින් Ashwin ආසාදිතයෙකු බව තහවුරු වීම නිසා ඔහුට කණ්ඩායම සමඟ පිටත් වෙන්න ලැබුණේ නැහැ. ඒත් ඔහු ජූලි 01 තරගය ආරම්භ වීමට කලින් නිරෝගී වෙයි. ඒත් ඔහුට තරගය පෙර තියෙන පුහුණු තරගය ක්‍රීඩා කරන්න වෙන්නේ නැහැ”, යැයි ඉන්දීය ක්‍රිකට් බලධාරියෙකු ප්‍රකාශ කර තිබුණා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් 2022 තරගාවලිය ක්‍රීඩා කිරීමෙන් පසුව Ashwin තමිල්නාඩු ක්‍රීඩා සංගම් තරගාවලිය ක්‍රීඩා කරමින් පන්දුවාර 20කට ආසන්න සංඛ්‍යාවක් යොමුකර තිබුණා.

මෙම තරගාවලියට සහභාගී වන ඉන්දීය සංචිතයේ අනෙකුත් ක්‍රීඩකයින් මේ වන විට Leicester හිදී පන්දු යැවීමේ පුහුණුකරු Paras Mhambrey සහ පිතිකරණ පුහුණුකරු Vikram Rathourගේ අධීක්ෂණය යටතේ පුහුණුවීම් අරඹා තිබෙනවා.

ඉන්දීය පුහුණුකරු Rahul Dravid, පිතිකරුවන් වන Rishabh Pant සහ Shreyas Iyer දකුණු අප්‍රිකානු තරගාවලිය අවසාන වීමෙන් පසුව එංගලන්තය බලා පිටත්ව ඇති අතර ඔවුන් අද (22) Leicester වෙත පිටත් වීමට නියමිතයි.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<