Home Sinhala තිස් වසරකට පසුව ලක් ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ විජයග්‍රහණය

තිස් වසරකට පසුව ලක් ක්‍රිකට් ඉතිහාසය අලුත් කළ විජයග්‍රහණය

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

367

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති සිව්වැනි එක්දින තරගය අද (21) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ ශ්‍රී ලංකාව ලකුණු 4ක තියුණු ජයග්‍රහණයකට හිමිකම් කියමින්.

ඒ සමඟ ශ්‍රී ලංකාව තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ම 3-1ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කරන්නට සමත් වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමක් 1992 වසරට පසුව (වසර 30කට) ඕස්ට්‍රේලියාවට එරෙහිව මෙරට දී ලබා ගත් පළමු සහ එකම ජයග්‍රහණයට හිමිකම් කියමින් වීම විශේෂත්වයක්.

සුළු ආබාධයකට ලක්ව සිටින දුෂ්මන්ත චමීර වෙනුවට ආබාධයකින් සුවය ලබා සිටින වනිඳු හසරංග අද තරගය සඳහා කැඳවා තිබුණා. ඕස්ට්‍රේලියාව තෙවැනි තරගයට ක්‍රීඩා කළ වේගපන්දු යවන ක්‍රීඩක Jhye Richardson වෙනුවට Pat Cummins මේ තරගයට කැඳවා තිබුණු අතර ඔවුන් අද දිනයේ දී ද එක් ප්‍රධාන දඟපන්දු යවන්නෙක් සමඟ මේ තරගය ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.

සිව්වැනි එක්දින තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම්

ශ්‍රී ලංකාව – නිරෝෂන් දික්වැල්ල (wk), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක (C), චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, වනිඳු හසරංග, ජෙෆ්රි වැන්ඩර්සේ.

ඕස්ට්‍රේලියාව – David Warner, Aaron Finch (C), Mitchell Marsh, Marnus Labuschagne, Alex Carey (wk), Travis Head, Glenn Maxwell, Cameron Green, Pat Cummins, Matthew Kuhnemann, Josh Hazlewood. 

කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානුවන්ගේ ආරාධනයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49ක් අවසානයේ සියල්ලන්ම දැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 258ක්.

ආරම්භක පිතිකරුවන් වුනු නිස්සංක සහ දික්වැල්ල හට මේ තරගයේ දී සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වුනු අතර Maxwell තරගයේ දෙවැනි පන්දුවාරයේ දී ලකුණක් ලබාගෙන සිටි දික්වැල්ලගේ කඩුල්ල ස්ටම්ප් කිරීමකට හසුකර ගැනීමට සමත් වුනා.

තෙවැනි එක්දින තරගයේ දී ලකුණු 170*ක නොදැවුණු සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කළ නිස්සංක සහ මෙන්ඩිස් දෙදෙනා පිළිවෙළින් Marsh සහ Cummins විසින් දවාගෙන පළමු Powerplay අවස්ථාව තුල (ලකුණු 35/3) ශ්‍රී ලංකාවට දැඩි පීඩනයක් එල්ල කිරීමට ඕස්ට්‍රේලියානුවන් සමත් වුනා.

අනතුරුව ධනංජය සමඟ පිටියේ එක්වූ අසලංක සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 100ක් තුල ලකුණු 101ක සබඳතාවයක් ගොඩනංවමින් අර්බුදයකට මුහුණ දී සිටි ශ්‍රී ලංකා ඉනිමට හොඳ ස්ථාවරත්වයක් ලබා දුන්නා.

තණතීරුවේ ස්වභාවය අනුව ඉතාමත් හොඳින් හැඩගැසුණු ධනංජය සිය එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 8 වැනි අර්ධ ශතකය ලබා ගනිමින් අසලංක සමඟ ගොඩනැංවූ සබඳතාවයේ ප්‍රහාරාත්මක වේගය හොඳ මට්මක රඳවා ගත්තා. 4 පහර 7ක් සමඟ පන්දු 61ක් තුල ලකුණු 60ක් ලබා ගත් ධනංජය Marshගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

ලකුණු 135/4ක් ලෙස සටහන් වූ ශ්‍රී ලංකා ඉනිමේ තවත් එක් කඩුල්ලක් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසුවීම නිසා නායක ශානකගේ ඉනිම ලකුණු 4කට සීමා වුනා.

වෙල්ලාලගේ ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ උසස්වීමක් ලබාගෙන අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි අතර වැඩි ජාත්‍යන්තර අත්දැකීම් ප්‍රමාණයක් නොමැති ඔහු අසලංක වෙත හොඳ සහයක් ලබා දෙමින් ශ්‍රී ලංකා මැදපෙළ තවදුරටත් සවිමත් කිරීමට සහය වුනා.

එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දෙදෙනා එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 64ක් තුල ලකුණු 57ක සබඳතාවයක් ගොඩනැංවූවා. වෙල්ලාලගේ ලකුණු 17කටත්, කරුණාරත්න ලකුණු 7කටත් දවා ගැනීමට වමතින් දඟපන්දු යවන Kuhnemann සමත් වුනා.

ලකුණු 34කට කඩුලු 3ක් බිඳ වැටී ශ්‍රී ලංකාව අසීරු අඩියක සිටි අවස්ථාවේ දී පිටියට පැමිණි අසලංක ශ්‍රී ලංකා ඉනිමේ ජීවනාලිය බවට පත්වෙමින් සිය මංගල එක්දින අර්ධ ශතකය ලබා ගන්නට සමත් වුනා.

තරමක් මන්දගාමී තණතීරුව මත හොඳම දස්කම් දැක්වීමට සමත් වුනු ඔහුගේ එක්දින දිවියේ දැනට වාර්තා වුනු හොඳම ඉනිමට 4 පහර 10ක් සහ එක් 6 පහරක් ඇතුළත් වුනා.

Cumminsගේ පන්දුවක් හමුවේ ලකුණු 110කට ඔහු දැවී ගිය අතර ඔහු සෙමින් සීරුවේ සිය ඉනිම ආරම්භ කළත් අවසානයේ දී පන්දු 106ක් තුල එම ලකුණු 110ක් ලබා ගැනීම කැපී පෙනුණා. එය අංක 5 හෝ ඊට පහළ ශ්‍රී ලංකා පිතිකරුවෙක් සිය මව්බිමේ පැවති එක්දින තරගයක දී ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය ද වුනා.

අසලංකගේ කඩුල්ල දැවී යන විට ඉතාමත් හොඳ මට්ටමක සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 3 ලකුණු 2ක් තුල දැවී යාම නිසාවෙන් ශ්‍රී ලංකාවට බලාපොරොත්තු වුනු අවසානය කරා යාමට හැකියාවක් ලැබුණේ නැහැ.

මේ ඉනිමේ දී ශ්‍රී ලංකා කඩුලු 3ක් (ශානක, වැන්ඩසේ, මහීෂ්) දුවද්දී දැවී යාම්වලට හසුවීම ශ්‍රී ලංකාවට විශාල පාඩුවක් වුනා. හසරංග නොදැවී ලකුණු 21*ක් ලබා ගත්තා. පන්දුවාර 40ක් අවසන් වන විට ලකුණු 270+කට වැඩි ප්‍රමාණයකට යාමට හැකියාවක් තිබුණු ශ්‍රී ලංකාව පන්දුවාර 49ක් අවසානයේ සියල්ලන්ම දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 258ක් පමණයි.

පන්දු යැවීමේ දී Marsh සහ Cummins එක් නිලකුණු පන්දුවාරය බැගින් ක්‍රියාත්මක කරමින් කඩුලු දෙක බැගින් දවාගෙන ශ්‍රී ලංකා පිතිකරුවන්ට පීඩනයක් ලබා දුන්නා. වමතින් දඟපන්දු යවන Kuhnemann ද කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු 259ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට අවතීර්ණ වුනු ඕස්ට්‍රේලියා ඉනිමේ පළමු කඩුල්ල ලෙස නායක Finch ලකුණු නොලබා සිටිය දී ම පිටියෙන් ඉවත් කිරීමට කරුණාරත්න සමත් වුනා.

අනතුරුව Warner සමඟ එක්වුණු Marsh දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54ක් තුල ලකුණු 63ක සබඳතාවයක් ගොඩනංවමින් Powerplay අවස්ථාව තුල (ලකුණු 45/1) ඔවුන්ට සාර්ථක අඩිතාලමක් සකස් කර දීමට සමත් වුනා.

වෙල්ලාලගේ ලකුණු 26ක් ලබාගෙන සිටි Marsh දවා ගනිමින් එම සබඳතාවය බිඳ දැමූ නමුත් ඊට පෙර දුවද්දී දවා ගැනීමකට හසුකර ගනිමින් එම සබඳතාවය බිඳ දැමීමට තිබූ අවස්ථාව ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී ගියා. Labuschagne සහ Carey පිළිවෙළින් ලකුණු 14කාට සහ ලකුණු 19කට දැවී ගියා.

ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගේ අභියෝගයට සාර්ථකව මුහුණ දුන් Warner සහ Head දිනය තුල වාර්තා වූ හොඳම ඕස්ට්‍රේලියානු සබඳතාවය වාර්තා කරමින් 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සබඳතාවයක් ගොඩනංවමින් තරගය ඉතාමත් තීරණාත්මක ස්ථානයකට රැගෙන ඒමට සමත් වුනා. එම සබඳතාවය බිඳ දමමින් ධනංජය යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසා ලකුණු 27ක් ලබාගෙන සිටි Head දැවී ගියා.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට මහත් හිසරදයක් වුනු ආරම්භක වමත් පිතිකරු Warner හට ලකුණු 99 දී නැවතීමට සිදු වූ නිසා ඔහුට ඔහුගේ ශතකය අහිමිව ගිය අතර එය ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ ලබා ගත් 24 වැනි අර්ධ ශතකය වුනා.

පන්දු 112ක් තුල වාර්තා වුනු ඔහුගේ එම සුපිරි ඉනිමට 4 පහර 12ක් ඇතුළත් වුනු අතර ධනංජය Warnerගේ තීරණාත්මක කඩුල්ල දවා ගැනීමට සමත් වුනා.

Warner සහ Maxwellගේ තීරණාත්මක කඩුලු 2 පන්දු 8ක් තුල දවා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඉතාමත් හොඳින් තරගයේ පාලනය නැවතත් ඔවුන්ගේ දෙසට ලබා ගැනීමට සමත් වුනා.

නමුත් Cummins පන්දු 43ක් තුල ලකුණු 35ක් ලබාගෙන සිටිය දී දවා ගැනීමට කරුණාරත්න සමත් වුනා. අවසානයේ දී අවසන් පන්දුවාර 2කට ලකුණු 25ක ඉලක්කයක් හඹා යාමට ඕස්ට්‍රේලියාවට තිබුණු අතර කරුණාරත්න 49 වැනි පන්දුවාරය තුල ලකුණු 6කට එක් කඩුල්ලක් දවාගෙන (Cumminsගේ කඩුල්ල) නැවතත් ශ්‍රී ලංකාවට තරගයේ වැඩි වාසිය ලබා දුන්නා.

ඒ අනුව අවසන් පන්දුවාරයට ලකුණු 19ක ඉලක්කයක් බේරාගැනීමේ මෙහෙයුම නායක ශානක සිය උරට ගත් අතර පළමු පන්දු කිහිපයේ දී Kuhnemann යම් ප්‍රහාරයක් දියත් කරමින් අවසන් පන්දුව දක්වා තරගයේ උණුසුම රඳවා ගැනීමට සමත් වුනා.

කෙසේ නමුත් අවසන් පන්දුවට ලකුණු 5ක් ලබා ගැනීමට තිබිය දී Kuhnemann උඩපන්දුවක් ලබා දෙමින් දැවී යාමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් දැඩි අසීරු කාලසීමවක් ගත කිරමින් සිටින සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ මුවඟට සිනහවක් ගෙන ඒමට සමත් වීම ඉතාමත් සතුටට කරුණක්. පන්දු යැවීමේ දී කරුණාරත්න, වැන්ඩර්සේ සහ ධනංජය කඩුලු දෙක බැගින් දවා ගත්තා.

තරගයේ වීරයා – චරිත් අසලංක

Result


Sri Lanka
258/10 (49)

Australia
254/10 (50)

Batsmen R B 4s 6s SR
Niroshan Dickwella st alex carey b Glenn Maxwell 1 3 0 0 33.33
Pathum Nissanka c alex carey b Mitchell Marsh 13 25 2 0 52.00
Kusal Mendis b Pat Cummins 14 21 1 1 66.67
dhananjaya de silva c Glenn Maxwell b Mitchell Marsh 60 61 7 0 98.36
Charith Asalanka c Aaron Finch b Pat Cummins 110 106 10 1 103.77
Dasun Shanaka run out () 4 8 0 0 50.00
Dunith Wellalage c David Warner b matthew kuhemann 19 35 0 0 54.29
Chamika Karunaratne lbw b matthew kuhemann 7 9 0 0 77.78
Wanidu Hasaranga not out 21 20 3 0 105.00
Jeffery Vandersay run out () 0 2 0 0 0.00
Maheesh Theekshana run out () 0 5 0 0 0.00


Extras 9 (b 0 , lb 2 , nb 1, w 6, pen 0)
Total 258/10 (49 Overs, RR: 5.27)
Bowling O M R W Econ
Josh Hazlewood, 10 0 45 0 4.50
Glenn Maxwell 8 0 49 1 6.12
matthew kuhemann 8 0 56 2 7.00
Pat Cummins 9 1 37 2 4.11
Mitchell Marsh 7 1 29 2 4.14
Cameron Green 5 0 27 0 5.40
Marnus Labuschagne 2 0 13 0 6.50


Batsmen R B 4s 6s SR
David Warner st Niroshan Dickwella b dhananjaya de silva 99 112 12 0 88.39
Aaron Finch lbw b Chamika Karunaratne 0 4 0 0 0.00
Mitchell Marsh c dhananjaya de silva b Dunith Wellalage 26 27 3 1 96.30
Marnus Labuschagne lbw b Jeffery Vandersay 14 21 0 0 66.67
alex carey c Jeffery Vandersay b Wanidu Hasaranga 19 20 2 0 95.00
travis head b dhananjaya de silva 27 33 3 0 81.82
Glenn Maxwell lbw b Maheesh Theekshana 1 3 0 0 33.33
Cameron Green b Jeffery Vandersay 13 25 0 0 52.00
Pat Cummins lbw b Chamika Karunaratne 35 43 2 0 81.40
matthew kuhemann c Charith Asalanka b Dasun Shanaka 15 12 3 0 125.00
Josh Hazlewood, not out 0 1 0 0 0.00


Extras 5 (b 0 , lb 1 , nb 1, w 3, pen 0)
Total 254/10 (50 Overs, RR: 5.08)
Bowling O M R W Econ
Chamika Karunaratne 5 1 19 2 3.80
Maheesh Theekshana 10 1 40 1 4.00
Wanidu Hasaranga 10 0 52 1 5.20
Dunith Wellalage 5 0 29 1 5.80
dhananjaya de silva 10 0 39 2 3.90
Jeffery Vandersay 7 0 40 2 5.71
Charith Asalanka 1 0 7 0 7.00
Dasun Shanaka 2 0 27 1 13.50



දෙරට අතර පැවැත්වීමට නියමිත 5 වැනි සහ අවසන් එක්දින තරගය මේ මස 24 වැනිදා ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ම ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<