Agarගේ ආබාධය නිසා ඕස්ට්‍රේලියාව අමාරුවේ වැටෙයි ද?

ඕස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

441

Mitchell Swepson කණ්ඩායමට ඇතුළත් නොවීම ගැන තමන් කනගාටු වන බව ඕස්ට්‍රේලියාවේ අංක එකේ ටෙස්ට් දඟපන්දු යවන ක්‍රීඩක Nathan Lyon පවසා සිටිනවා.

Ashton Agar හා Adam Zampa දෙදෙනාම නොමැති මොහොතක ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව සමඟ තෙවැනි එක්දින තරගයට Swepson කැඳවා නොතිබීම බොහෝ දෙනාගේ පුදුමයට ලක් වූ කරුණක් වුනා.

ඕස්ට්‍රේලියාව නවක පන්දු යවන ක්‍රීඩක Matthew Kuhnemann ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙසත් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ සහයත් ලබා ගත් අතර තෙවැනි තරගය ඔවුන් කඩුලු 6කින් පරාජය වුනා.

ටෙස්ට් තරගාවලිය සඳහා පසුගිය සතියේ ශ්‍රී ලංකාවට පැමිණි Lyon පවසා සිටියේ ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලිය අනිවාර්යයෙන්ම දඟපන්දු යවන්නන් දෙදෙනෙකු ක්‍රීඩා කළ යුතු තරගාවලියක් බවයි.

Agarගේ ආබාධය නිසා ඔහුට ටෙස්ට් තරග දෙකම මඟ හැරීමට ඉඩ තිබෙනවා. ඒ නිසා එක්දින තරගාවලියේ දක්වන දක්ෂතා අනුව Kuhnemannට ටෙස්ට් කණ්ඩායමේ දොරගුළු විවර වීමට ද අවකාශ පවතින බවයි වාර්තා වෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකා A හා ඕස්ට්‍රේලියා A කණ්ඩායම් අතර තරගාවලියට සහභාගී වීම සඳහා වමත් දඟපන්දු යවන ක්‍රීඩක Jon Holland ද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ Kuhnemann හෝ Holland, Agar වෙනුවට අනිවාර්යයෙන්ම ටෙස්ට් කණ්ඩායමේ ක්‍රීඩා කරනු ඇති බවයි.

පාකිස්තානය සමඟ සිය මංගල ටෙස්ට් තරගාවලියේ දී Swepson හොඳින් පාඩම් ඉගෙන ගන්නට ඇති බව Lyon පවසා සිටිනවා. ඔහු පාකිස්තානය සමඟ පළමු ඉනිමේ දී කඩුලු දෙකක් දවා ගන්නට සමත් වුනත්, ඉන්පසුව ඔහුට සාර්ථක වන්නට හැකියාවක් ලැබුණේ නැහැ.

මට Swepson ගැන ටිකක් කනගාටුයි. එක තරගයක් ලබා දී ඊළඟ තරගය අහිමි වුනාම ඒක හරි අමාරුයි”, ශ්‍රී ලංකාවත් සමඟ දෙවැනි තරගයේ දී ලකුණු 58කට කඩුලු 1ක් දවා ගත් Swepson තෙවැනි තරගයට කැඳවා නොතිබීම ගැන Lyon පවසා සිටියා.

සැකයක් නැහැ ඔහුට ඔහුව කණ්ඩායමට නොගැනීම ගැන හේතු කියන්න ඇති. ඔහු දැන් ඒ දේවල් නිවැරදි කරගන්නට කටයුතු කරනවා ඇති. පාකිස්තානයේ දී අපි දෙදෙනාගේ සබඳතාවය ගැන මම ගොඩක් සතුටු වුනා. මම හිතන්නේ අපි දෙදෙනාටම ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. විශේෂයෙන්ම මේ කලාපයේ ක්‍රීඩා කරනකොට.”

cricket.com.au ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<