ශ්‍රී ලංකා A කණ්ඩායම අපරාජිත ව ඉදිරියට

UAE Tri Nation A Series 2025

56

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා A කණ්ඩායම ක්‍රීඩා කළ තෙවැනි තරගය ඊයේ (19) ක්‍රියාත්මක වුනා. 

අයර්ලන්තය සමඟ පැවැත්වුණු මෙම තරගයේ කාසියේ වාසිය ද අයර්ලන්ත කණ්ඩායම සතු වූ අතර, ඔවුන් පළමුව පන්දුවට පහර දීම තෝරා ගත්තා. 

කෙසේ වෙතත් අයර්ලන්තයට තම බලාපොරොත්තු ඒ අයුරින් ම ඉටු කර ගැනීමට ඉඩ ලබ නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් ඔවුන්ගේ ඉනිම ඉතා ඉක්මනින් බිඳ දැමීමට සමත් වුනා. 

අයර්ලන්ත ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Christopher De Freitas නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 67ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඔහුට සහය ලබා දුන් Morgan Topping විසින් ලකුණු 45කින් ඉනිමට දායක වුනා. 

කෙසේ වෙතත් ඔවුන්ට ඉහළ ලකුණු කරා යාමට ඉඩ ලබා නොදුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් දිල්ශාන් මදුශංක කඩුලු 4ක් දවාගන්නා අතරේ, දුශාන් හේමන්ත කඩුලු 3කුත්, මිලාන් රත්නායක කඩුලු 2කුත් බිඳ හෙළීමට සමත් වුනා. 

මේ අනුව අයර්ලන්ත ඉනිම පන්දුවාර 46කට සීමා වෙමින් ලකුණු 192කින් නතර කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා. 

අයර්ලන්තයෙන් ලද ලකුණු 193ක ඉලක්කය හඹා යාම වෙනුවෙන් ළහිරු උදාර සහ ලසිත් කෲස්පුල්ලේ පිටියට පිවිසුණු අතර, ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 107ක් එක් කිරීමට සමත් වුනා. 

මෙහි දී ළහිරු උදාර ලකුණු 47ක් ලබාගන්නා අතරේ, ලසිත් විසින් පන්දු 33ක් වැය කරමින් ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වුනා. 

ඔවුන් දෙදෙනා පිටියෙන් ඉවත් වීමෙන් පසුව නායක සදීර සමරවික්‍රම කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවා ගෙන යාමේ වගකීම බාරගත් අතර, ඔහු පන්දු 47කින් නොදැවී ලකුණු 50ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම අදාළ ඉලක්කය කරා කැඳවා ගෙන ගියා. 

පන්දුවාර 27ක් සහ එක් පන්දුවක් පමණක් වැය කරමින් කඩුලු හයක ජයක් කරා යාමට ශ්‍රී ලංකාව මෙහි දී සමත් වූ අතර, කඩුලු හතරක් දවා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දිල්ශාන් මදුශංක තරගයේ වීරයා බවට පත් වුනා. 

තරගාවලියේ මීළඟ තරගය හෙට (21) අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමට නියමිතයි. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 23 වැනි දා ඇෆ්ගනිස්ථානය සමඟින් තරග බිමට පිවිසෙනු ඇති. 

ශ්‍රී ලංකා A කණ්ඩායම මෙතෙක් තරගාවලියේ තමන් ක්‍රීඩා කළ තරග ත්‍රිත්වයම ජයග්‍රහණය කිරීමට සමත් වී සිටිනවා. 

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<