ඕස්ට්‍රේලියාවට එකට එක කරන්නට ශ්‍රී ලංකාව සූදානම්

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

784

ඕස්ට්‍රේලියාව මෙරට එක්දින සංචාරයකට එක් වෙන්නේ ආසන්නත ම තරගාවලිවල දී පිට පිට තරගාවලි 4ක් ජයග්‍රහණය කරමින්, අවසන් වරට පැවති පාකිස්තානය සමඟ තරගාවලියෙන් 2-1ක පරාජයක් ලබා ගනිමින්.

එසේ මෙරට පැමිණි ඔවුන් විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කරමින් මේ තරගාවලියට එක් වීමට සූදානම්.

ඔවුන්ගේ දල අශ්වයන් සමඟින් මෙරට නියෝජනය කරන්නට සිදුව තිබෙන්නේ අඩු අත්දැකීම් සහිත ක්‍රීඩකයන් රාශියකගෙන් යුත් කණ්ඩායමකටයි. නායක දසුන් ශානක මෙන් ම බොහෝ දෙනෙක් ඊට අයත්. අඩු අත්දැකීම් සහිත වූවත් ක්‍රිකට් පිටියේ පෙරළියක් කිරීමට අපේ සිංහ පෝතකයන් පෙරමුණ ගන්නවා නියතයි.

දෙරට අතර තරග ඉතිහාසයේ ශතක සංවත්සර එක්දින ජාත්‍යන්තර තරගය ද මේ තරගාවලියේ දී යෙදී තිබෙනවා. ඒ මේ මස 19 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින තරගයයි.

1975 වසරේ සිට ආරම්භ වන ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින තරග ඉතිහාසයට තරග 97ක් ඇතුළත්. ඉන් තරග 61ක් සංචාරකයෝ ජයග්‍රහණය කරද්දී, ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරන්නේ තරග 32ක් පමණයි. නොවිසඳුන තරග 4ක් ද ඊට අයත්.

අවසන් වරට ඔවුන් මෙරට පැමිණෙන්නේ 2016 වසරේ දී. එදා තරග 5කින් යුත් එම තරගාවලියේ දී 4-1ක් ලෙස සංචාරකයෝ ජයග්‍රහණය කරනවා.

25 දෙනෙක්ගෙන් යුත් ශ්‍රී ලංකා එක්දින නායකයන් අතරින් දසුන් ශානක හෙට (14) තම 10 වැනි තරගය මෙහෙයවීමට පිටියට එළඹෙන විට 26 දෙනෙක්ගෙන් යුත් ඕස්ට්‍රේලියා එක්දින නායකයන් අතරින් Aaron Finch සහභාගී වෙන්නේ තම 45 වැනි තරගයටයි.

ශ්‍රී ලංකා එක්දින සංචිතය: දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල, චාමික කරුණාරත්න, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, ප්‍රවීන් ජයවික්‍රම, රුමේෂ් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, ලහිරු මධුශංක, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුෂාන්

දසුන් ශානක

එක්දින තරග 37ක දී තවමත් දසුන් ශානකට ලබා ගත හැකිව ඇත්තේ ලකුණු 842ක් පමණයි. පන්දු යවන්නෙක් ලෙසින් ලබා ගත් කඩුලු 12ක් ද ඔහු සතුයි.

ඒ කෙසේ වෙතත් කණ්ඩායමේ විශ්වාසවන්ත පිතිකරු වීමට දසුන් ශානක සමත් වෙනවා. ඊට තවත් උත්තේජනයක් වන්නේ ඕස්ට්‍රේලියාව සමඟ පැවති අවසන් විස්සයි විස්ස තරගයේ දී ඔහු පෑ දක්ෂතාවයි. බලාපොරොත්තු සහගත පිතිකරුවෙකු සේ ම වගකීම් නිසි පරිදි ඉටු කරන නායකයෙක් ලෙසින් ද ඔහු කෙරෙහි විශ්වාසය තැබිය හැකියි.

දසුන්ගේ ඕස්ට්‍රේලියාව සමඟ දක්ෂතා එක් තරගයකට පමණක් සීමා වෙනවා. එම තරගයේ දී ඔහුට ලබා ගත හැකි වෙන්නේ ලකුණු 13ක් පමණයි.

නිමා වූ ජනවාරියේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ දී ලකුණු 102ක් ලබා ගන්නා දසුන් එය ඔහුගේ තරග ලැයිස්තුවේ හොඳම ඉනිම බවට ද පත් කර ගන්නවා. එබැවින් එම මතකයන් සමඟින් දසුන් තම කණ්ඩායම වෙනුවෙන් මතක හිටින යමක් කරතැයි සිතිය හැකියි.

දිනේෂ් චන්දිමාල්

එක්දින තරග 153ක ඉනිම් 139ක දී ලකුණු 3,801ක් රැස් කරගෙන සිටින දිනේෂ් චන්දිමාල්, ඕස්ට්‍රේලියාවට එරෙහිව මෙරට නියෝජනය කරන අත්දැකිම් බහුල ම ක්‍රීඩකයා ලෙසින් හැදින්විය හැකියි.

ඔහුගේ පිතිකරු ලැයිස්තුවේ අවසන් ශතකය වාර්තා වන්නේ ද ඕස්ට්‍රේලියානුවන්ටයි. ඒ  2016 වසරේ දී දඹුල්ලේ දී ලබා ගන්නා ලද ලකුණු 102යි. එම තරගාවලියේ දී චන්දිමාල් ඉනිම් 5ක දී ලකුණු 236ක් ලබා ගන්නවා.

චන්දිමාල්ගේ මෑත කාලීන දක්ෂතා අනුව ඔහු අවසන් වරට සහභාගී වූ ජාත්‍යන්තර ඉනිම් 10 දී අර්ධ ශතක 3ක් වාර්තා කළා.

ධනුෂ්ක ගුණතිලක

මේ ආරම්භක වමත් පිතිකරුවාගෙන් කාලෙකට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට යමක් විය යුතුයි. එක්දින ඉනිම් 44ක ලකුණු 1,520ක් හිමි ධනුෂ්කගේ ඉනිම් පැටිකිරිය තුළ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉනිම් 3ක් තුළ ලබා ගත් 46ක් ද තිබෙනවා.

වසරකට පමණ පසු ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්වෙන දසුන් අවසන් වරට බංග්ලාදේශය සමඟ සහභාගී වූ තරග ත්‍රිත්වයේ දී ද එතරම් ම දක්ෂතා දැක්වූයේ නැහැ. නමුත් ඔහු කෙරෙහි තේරීම් කමිටුව සේ ම ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ද තබා ඇති බලාපොරොත්තු සුළු පටු නැහැ.

චරිත් අසලංක

අංක 3 පිතිකරු ස්ථානයේ වඩාත් වැදගත් මෙහෙවරක නිරත වෙන යොවුන් ක්‍රීඩක චරිත් අසලංකගේ එක්දින ජාත්‍යන්තර පිටියේ දක්ෂතා හැඩ ගැන්වෙන්නේ තරග 11ක දී ලකුණු 472ක් ලෙසයි. එහි සාමාන්‍ය 42.90ක්. එය නවක මෙන් ම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් අතර ද ඉතා ඉහළ අගයක් ගන්නවා.

ඔහුගේ අවසන් ඉනිම් තුන ක්‍රියාත්මක වී ඇත්තේ 71ක්, 23ක් සහ 52ක් ලෙසින්. ඒ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ම පැවති සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරගාවලියේ දී. චරිත් අසලංක ඕස්ට්‍රේලියාව සමග තරගයකට එක් වෙන්නේ පළමු වරටයි.

පැතුම් නිස්සංක

ඕස්ට්‍රේලියාව සමඟ පළමු වරට මුහුණ දෙන නවකයෙක් ලෙසින් තරගාවලියට එක්වෙන පැතුම් නිස්සංක වඩාත් විශ්වාසවන්ත ක්‍රීඩකයෙක් ලෙසින් නම් කළ හැකියි. මෙතෙක් එක්දින ජාත්‍යන්තර තරග 12කට පමණක් සහභාගී වී ඇති පැතුම් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 232ක් වන අතර එහි සාමාන්‍ය 19.33ක්. එහෙත් එම ඉලක්කම් ගැන නම් සෑහීමකට පත් විය නොහැකියි.

කෙසේ වෙතත් පැතුම් නිස්සංක අවසන් ඉනිම් 3 තුළ අර්ධ ශතක දෙකක් සමගින් කළ වික්‍රමය ගැන බොහෝ ප්‍රේක්ෂකයන්ගේ මතකයන් තුළ තවමත් තිබෙනු නොඅනුමානයි.

වනිඳු හසරංග

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තරග 29ක දී ලකුණු 546ක් සහ කඩුලු 29ක් ලබා සිටින වනිඳු හසරංග තවත් එක් විශ්වාසවන්ත ක්‍රීඩකයෙක් වී සිටිනවා. වනිඳු ද ඕස්ට්‍රේලියාව සමඟ නවකයෙක් ලෙසිනුයි එක් වෙන්නේ.

කෙසේ වෙතත් වනිඳුගේ අවසන් ජාත්‍යන්තර එක්දින ඉනිම් 5 ඉතා දුර්වල තත්ත්වයෙන් පැවතීම තරමක කුකුසක් එක් කරනවා. එහි දැක්වෙන්නේ ලකුණු 28ක් පමණයි.

කුසල් මෙන්ඩිස්

එක්දින ජාත්‍යන්තර තරග 82ක දී ලකුණු 2,297ක් හිමි කුසල් මෙන්ඩිස්ගේ ලකුණු ලැයිස්තුවේ අවසන් ඉනිම් 10 තුළ බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලබා ගත් ශතකයක් සහ අර්ධ ශතක දෙකක් ඇතුළත්.

එසේ වූවත් ඔහුගේ අවසන් ඉනිම් 3 තුළ ඇත්තේ ලකුණු 69ක් පමණයි. නමුත් මෙවර ඕස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියේ දී කුසල් මෙන්ඩිස්, වැඩි යමක් ඉටු වෙතැයි බලාපොරොත්තු තබා සිටින ක්‍රීඩකයන් අතර කෙනෙකි.

ඕස්ට්‍රේලියා එක්දින සංචිතය; Aaron Finch (නායක) Ashton Agar, Alex Carey, Pat Cummins, Cameron Green, Josh Hazlewood, David Warner, Travis Head, Josh Inglis, Marnus Labuschagne, Mitchell Marsh, Glenn Maxwell, Kane Richardson, Steven Smith, J. Richardson, Marcus Stoinis, Mitchell Swepson

Aaron Finch

එක්දින පිටියේ තරග 135ක ලකුණු 5255ක් රැස් කරගෙන සිටින මොහු නායකත්වයේ පමණක් නොව පිතිකරු භූමිකාවේ දී ද ශ්‍රී ලාංකිකයන් අසරණ කිරීමට පෙරමුණ ගන්නවා නියතයි. පිතිකරුවෙක් ලෙසින් සහභාගී වූ ඉනිම් 131ක තුළ ශතක 17ක් සහ අර්ධ ශතක 29ක දීර්ඝ ඉනිම් ඔහු සතුයි.

ඔහුගේ තරග ලැයිස්තුවේ යම් හෝ සැනසීමකට වේ නම් ඇත්තේ අවසන් ඉනිම් තුළ ඔහුගේ දක්ෂතාව ලකුණු 23ක් පමණක් වීම පමණයි. එහි අවසන් ඉනිම් 2ක ම ලකුණු නොලබා දැවී ගිය ඒවා ය. ඒ නිමා වූ අප්‍රේල් මාසයේ දී ලාහෝර් හී පැවති පාකිස්තානය හා තරග සංචාරයේ දී.

Steven Smith

එක්දින තරග 128ක දී ශතක 11ක් සහ අර්ධ ශතක 25ක් සමඟින් ලකුණු 4378ක් ලබා සිටින ස්මිත්ගේ අවසන් ඉනිම් 3 තුළ ශතක දෙකක් අන්තර් ගතයි. ඉනිම් 3ක දී ලකුණු 216ක් වන එහි සාමාන්‍ය 72.0ක්. මේ දක්ෂතාව ඔහු දක්වන්නේ ඉන්දියාවට එරෙහිව වීම විශේෂත්වයක්. පරිස්සම් විය යුතු තවත් ක්‍රීඩකයෙක් ලෙසයි Smith හැඳින්වෙන්නේ.

David Warner

ඕස්ට්‍රේලියානු මේ ආරම්භක වමත් පිතිකරුවා ඇසුරු සැණින් පන්දුව සීමාවෙන් එපිට ට එල්ල කිරීමට දැඩි ගිජුකමක් දක්වන්නෙක්. මේ නිසා ම ඔහුගේ ලකුණු ලැයිස්තුවේ සාමාන්‍ය දැක්වෙන්නේ 45.45ක් ඉතා ඉහළ අගයක්. ඉතා පරිස්සම් විය යුතු ක්‍රීඩකයෙක්. වන Warner සතුව ලකුණු 5455ක් දැක්වෙනවා.

එහි මීට වසර 10කට පෙර Brisbane හි දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබා ගත් ලකුණු 163ක් ද තිබෙනවා. ඔහුගේ අවසන් ඉනිම් තුන තුළ අර්ධ ශතක ඉනිම් 2කින් සමන්විත ලකුණු 176ක් ඇති අතර එහි සාමාන්‍ය 58.66ක් ලෙසයි දැක්වෙන්නේ.

මේ අතර දෙරට අතර පැවති විස්සයි විස්ස තරග අතරතුර දී ආබාධිත බවට පත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ම එක්දින තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අතර ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්ව සිටි කසුන් රාජිත සහ නවක වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට අසිත ප්‍රනාන්දු සහ නවක වේගපන්දු යවන ප්‍රමෝද් මධුශාන් කැඳවා ඇති බවයි පැවසෙන්නේ.

පළමු විස්සයි විස්ස තරගයේ දී සංචාරක කණ්ඩායමේ ඇඟිල්ලේ ආබාධයකට ලක් වූ Mitchell Starcට එක්දින තරගාවලිය අහිමි වන බැව් පසුගිය දා ඕස්ට්‍රේලියා ආරංචි මාර්ග ප්‍රකාශ කළා. ඒ වෙනුවට 25 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන J. Richardson කැඳවීමට නියමිතයි.

තරග කාලසටහන

  • ජුනි 14 – පළමු තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  • ජුනි 16 – දෙවැනි තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  • ජුනි 19 – තෙවැනි තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  • ජුනි 21 – සිව්වැනි තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  • ජුනි 24 – පස්වැනි තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<