බංග්ලාදේශයට එරෙහි වන ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය 2022

5585

එළඹෙන මැයි 15 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න සහ චරිත් අසලංක මූලික සංචිතයට ඇතුලත්ව නොමැති වීම කැපී පෙනෙනවා.

නිමා වූ නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තරග 4ක දී ලකුණු 304ක් ලබාගෙන 101.33ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගත් මැදපෙළ පිතිකරු රොෂේන් සිල්වා නැවතත් තේරීම් කමිටුවේ අවධානයට ලක්ව තිබෙනවා. ඊට අමතරව එම තරගාවලියේ දී තරග 4ක දී කඩුලු 12ක් දවා ගත් වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ද මේ මූලික සංචිතයට ඇතුළත්.

නිමා වූ ඉන්දීය ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා සංචිතයේ ඇතුලත්ව නොසිටි ඕෂද ප්‍රනාන්දු ද මේ සංචිතයට ඇතුලත්ව සිටින අතර ඔහු නිමා වුනු නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දක්ෂතම පිතිකරුවා බවට ද ඇගයීමට ලක්වුනා. එම තරගාවලියේ තරග 6ක දී ලකුණු 721ක් ලබා ගත් ඕෂදගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 80.11ක් වැනි ඉහළ අගයක පැවතුණා.

තවද, එම තරගාවලියේ දී කොළඹ කණ්ඩායම නියෝජනය කරමින් තුන් ඉරියව් දස්කම් දැක්වූ 22 හැවිරිදි ලක්ෂිත මණසිංහ පළමු වරට ශ්‍රී ලංකා ටෙස්ට් මූලික සංචිතයක් සඳහා කැඳවා තිබීම විශේෂත්වයක්. ඔහු එම තරගාවලියේ තරග 4ක දී කඩුලු 15ක් දවා ගත්තේ 26.40ක සාමාන්‍යයක් රඳවා ගෙනයි.

ICC ලෝක ටෙස්ට් ශූරතාවයට ඇතුළත් මෙම තරග දෙක ක්‍රීඩා කිරීමට සඳහා ශ්‍රී ලංකා සංචිතය මැයි 8 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතයි.

තරගාවලියේ පළමු ටෙස්ට් තරගය මැයි 15 වැනිදා සිට 19 වැනිදා Chattogram හිදී පැවැත්වීමට නියමිත අතර දෙවැනි ටෙස්ට් තරගය පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ ඩකා හිදී. ඒ් මැයි 23 වැනිදා සිට 27 වැනිදා දක්වායි. නිල ටෙස්ට් තරග දෙකට පෙර ශ්‍රී ලංකාව දෙදින පුහුණු තරගයක් සඳහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා මූලික ටෙස්ට් සංචිතය: දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂද ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, කමිල් මිශාර, රොෂේන් සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ඩිල්ශාන් මදුශංක, ශිරාන් ප්‍රනාන්දු, මොහොමඩ් ශිරාස්, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, ජෙෆ්රි වැන්ඩර්සේ, ලක්ෂිත මණසිංහ, සුමින්ද ලක්ෂාන්.

තරගාවලියේ කාලසටහන

  • දෙදින පුහුණු තරගය – මැයි 11 සහ 12 – M.A.Aziz Stadium, Chattogram
  • පළමු ටෙස්ට් තරගය – මැයි 15 සිට 19 දක්වා – ZACS, Chattogram
  • දෙවැනි ටෙස්ට් තරගය – මැයි 23 සිට 27 දක්වා – SBNCS, Dhaka

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<