වනිඳුගෙන් කඩුලු දෙකක දස්කමක්; MIට තවත් පරාජයක්!

IPL ක්‍රිකට් තරගාවලිය 2022

2350

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩා කළ සිව්වැනි තරගයෙන් ද පරාජය වීමට Mumbai Indians (MI) කණ්ඩායමට ඊයේ (9) සිදු වුනා. ඒ, තරගාවලියේ 18 වැනි තරගයෙන් Royal Challengers Bangalore (RCB) හමුවේ කඩුලු 7කින් පරාජය වීමත් සමඟයි.

ඒ අනුව දැනට IPL ප්‍රසාද ලකුණු සටහනේ 10 වැනි ස්ථානයේ රැඳී සිටින්නේ Mumbai කණ්ඩායමයි. වෙනස්කම් දෙකක් සිදු කරමින් තරගයට අවතීර්ණ වුනු Mumbai Indians වෙනුවෙන් මේ තරගයට ක්‍රීඩා කළේ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු පමණක් වීම විශේෂත්වයක් වුනා.

පූනේ හි පැවැති මේ තරගයේ කාසියේ වාසිය දිනූ Royal Challengers Bangalore ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් Mumbai ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 151ක් ලබා ගත්තා.

නායක Rohit Sharma හා Ishan Kishan ලකුණු 26 බැගින් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් අර්ධ ශතක සබඳතාවයක් ගොඩනැංවූවා. හුදකලා සටනක නිරත වෙමින් Mumbai කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය Suryakumar Yadav පන්දු 37කින් ලකුණු 68*ක් නොදැවී රැස් කළ අතර හයේ පහර 6ක් හා හතරේ පහර 5ක් ඔහුගේ මනරම් ඉනිමට ඇතුළත් වුනා. ඒ අනුව Suryakumar දැනට මේ තරගාවලියේ නොකඩවා අර්ධ ශතක දෙකක් ලබාගෙන තිබෙනවා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 28කට කඩුලු 2ක් ද, වේගපන්දු යවන ක්‍රීඩක Harshal Patel ලකුණු 23කට කඩුලු 2ක් ද බිඳ දැමුවා. ඒ අනුව මෙවර තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලාභීන් අතර දෙවැනි තැන දිනා ගැනීමට වනිඳු (කඩුලු 8) සමත් වී තිබෙන්නේ, Umesh Yadav (කඩුලු 9) හට පමණක් දෙවැනි වෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ RCB ඉනිම නිමා වීමට තවත් පන්දු 9ක් ඉතිරිව තිබිය දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් දැවී සිටිය දීයි. කඩුලු රකින ආරම්භක පිතිකරු Anuj Rawat තරගයේ වීරයා බවට පත්වෙමින් 6 පහර 6ක් සහ 4 පහර 2ක් සමඟ පන්දු 47කින් ලකුණු 66ක් ලබා ගත්තා.

Virat Kohli ලකුණු 48ක් (පන්දු 36) ලබා සිටිය දී දැවී ගියේ බේබි ඒබී නමින් ප්‍රසිද්ධියට පත්ව සිටින 18 හැවිරිදි Dewald Brevisගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන්. එම පන්දුව Brevis ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් පිටියේ යොමු කළ පළමු පන්දුව වීම ද විශේෂත්වයක්.

Mumbai Indians – 151/6 (20): Suryakumar Yadav 68*, Rohit Sharma 26, Ishan Kishan 26, Harshal Patel 2/23, Wanindu Hasaranga 2/28.

Royal Challengers Bangalore – 152/3 (18.3): Anuj Rawat 66, Virat Kohli 48, Faf du Plessis 16.

තරගයේ වීරයා – Anuj Rawat (Royal Challengers Bangalore)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<