2024 T20 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගන්නේ මෙහෙමයි

4180

2024 වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී සහ ඇමරිකා එක්සත් ජනපදයේ දී පැවැත්වීමට නියමිත 9 වැනි ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් සුදුසුකම් ලබා ගන්නා ආකාරය ICC විසින් නිවේදනය කර තිබෙනවා.

ඊයේ (10) ඩුබායි හී දී නිමා වුනු ICC විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව ICC විසින් මෙය නිල වශයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර සිටියා.

2007 සිට මේ දක්වා ICC T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි 7ක් පවත්වා තිබෙන අතර එහි 8 වැනි ලෝක කුසලානය මේ වසරේ ඔක්තෝබර් 16 වැනිදා සිට නොවැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඒ සියලුම තරගාවලි සඳහා කණ්ඩායම් 12ක සහ 16ක ප්‍රමාණයක් සහභාගී වුනු නමුත් 2024 T20 ලෝක කුසලානයට කණ්ඩායම් 20ක් සහභාගී වීමට නියමිතයි. එය ICC T20 ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කණ්ඩායම් ප්‍රමාණයක් සහභාගී වන තරගාවලිය වනු ඇත.

ඒ අනුව තරගාවලියට එක්වන රටවල් 20න් රටවල් 12ක් සුදුසුකම් ලැබීමේ තරගාවලියකින් තොරව සෘජුවම ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි. මෙම වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියෙන්ම පසුවන කණ්ඩායම් 8, 2024 වසරේ පැවැත්වෙන T20 ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබාගනු ඇති.

තරගාවලියේ සත්කාරකත්වය හිමි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ඇමරිකා එක්සත් ජනපදය මේ වන විටත් 2024 ලෝක කුසලානයට සුදුසුකම් ලබා අවසන්. ඊට අමතරව 2022 නොවැම්බර් 14 වැනිදා වන විට, ICC T20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම පසුවන රටවල් කිහිපයකට ද තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා.

බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඇතැම් විට ඇමරිකා එක්සත් ජනපදය (2022 වසරේ T20 ලෝක කුසලාන ගෝලීය සුදුසුකම් ලබා ගැනීමේ B කාණ්ඩයේ තරගාවලිය ජූලි මාසයේ දී) මෙවර ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානය අවසානයේ දී පළමු කණ්ඩායම් 8 දෙනා අතර රැඳී සිටියහොත් T20 ශ්‍රේණිගත කිරීම් මත පදනම්ව තවත් කණ්ඩායම් තුනකට 2024 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වනවා.

කෙසේ වෙතත්, කොදෙව්වන්ට සහ යම් විටෙක ඇමරිකා එක්සත් ජනපදයට මෙම වසරේ පැවැත්වීමට නියමිත ලෝක කුසලානයේ දී පළමු අට දෙනා අතරට තේරීමට නොහැකි වුවහොත්, ශ්‍රේණිගත කිරීම් අනුව 2024 T20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සුදුසුකම් ලබා අවස්ථාව තිබෙන්නේ තවත් රටවල් දෙකක් සඳහා පමණයි.

එම කණ්ඩායම් 12ට අමතරව සහභාගී වන සෙසු කණ්ඩායම් 8 කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලි තුළින් 2024 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි. එහි දී අප්‍රිකානු, ආසියානු හා යුරෝපා කලාපවලින් රටවල් දෙක බැගින් ද, ඇමෙරිකාවෙන් හා නැගෙනහිර ආසියා පැසිෆික් කලාපයෙන් එක් රට බැගින් ද 2024 T20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.

දෙස් විදෙස් කෙළිබිමේ තවත් තතු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<