ශ්‍රී ලංකා – බංග්ලාදේශ සංචාරය සැලසුම් කර පරිදි ඉදිරියට

ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය 2022

402

ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති දේශපාලන අර්බුදය මධ්‍යයේ වුවද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය සැලසුම් පරිදි පැවැත්වීමට හැකියාවක් ලැබෙනු ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් විධායක නිලධාරි Nizamuddin Chowdhury ප්‍රකාශ කර තිබෙනවා.

මෙම අර්බුදය නිසාවෙන් බංග්ලාදේශ ඉහළ කාර්ය සාධන ඒකකයේ සංචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කල්දැමීමත්  සමඟ ලෝක ටෙස්ට් ශූරතාවයට අයත් මෙම තරගාවලිය පැවැත්වීම පිළිබඳව සැකයක් මතුව තිබුණා.

කෙසේ නමුත් තරගාවලියේ වත්මන් තත්වය පිළිබඳව අදහස් දැක්වූ Nizamuddin Chowdhury ප්‍රකාශ කළේ,

“මෙම ජාතික කණ්ඩායමේ තරගාවලිය පිළිබඳව අපි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟින් සාකච්ඡා කළා. ඔවුන් මෙම තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට කැප වී සිටිනවා. අපි තවමත් දන්නා පරිදි තරගාවලිය කාලසටහනට අනුව පැවැත්වෙනවා වගේම අපි ඒ කාලසටහනට අනුව සැලසුම් කරමින් ඉන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් මෙම තරගාවලිය නියමිත කාලසටහනට අනුව පැවැත්වීමට කැප වෙලා කටයුතු කරනවා”.

ශ්‍රී ලංකා කණ්ඩායම මැයි 08 වැනිදා බංග්ලාදේශයට පැමිණීමට නියමිතව ඇති අතර ඔවුන් මැයි 11 සහ 12 පුහුණු තරගයක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව මැයි 15 වැනිදා පළමු ටෙස්ට් තරගයට සහභාගී වීමට නියමිතයි.

තරගාවලියේ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය මැයි 23 වැනිදා Sher-e-Bangla ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම පසුගිය කාලසීමාවේ දී බංග්ලාදේශය ඕස්ට්‍රේලියාව තුළ හෝ එංගලන්තය තුළ ක්‍රීඩා කර නොමැති වීම පිළිබඳව අදහස් දක්වමින් Chowdhury ප්‍රකාශ කළේ නව ජාත්‍යන්තර ක්‍රිකට් කාලසටහන පැමිණීමෙන් අනතුරුව එම රටවල්හී සංචාරය කිරීමට අවස්ථාව හිමිවනු ඇති බවයි.

“එම රටවල්හී සංචාරය කිරීමට අවස්ථාවක් නොලැබීම පිළිබඳව අපි එක් එක් රටවල්හී ක්‍රිකට් ආයතන සමඟ සාකච්ඡා කළ අතර ඒ සඳහා හොඳ ප්‍රතිචාර ලැබුණා. මීළඟ ක්‍රිකට් කාලසටහන (Future Tours Program) පැමිණිය පසු අවස්ථාවක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා”, යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

මීට අමතරව වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ සත්කාරකත්වය බංග්ලාදේශයට ලැබීම සහ විවිධ හේතූන් නිසාවෙන් එය දකුණු අප්‍රිකාව වෙත ලබා දීම පිළිබඳව සිය අදහස් දැක්වූ Chowdhury සඳහන් කර සිටියේ,

“එහි පොඩි පටලැවිල්ලක් තියෙනවා, 19න් පහළ කාන්තා ලෝක කුසලානය බංග්ලාදේශයේ පැවැත්වීම පිළිබඳව අපට කැමැත්තක් තිබුණා වගේම ඒක අපිට ලැබුණා. එය පවත්වන්න තිබුණේ 2020 වසරේ ඒත් කොරෝනා වසංගතය නිසාවෙන් තරගාවලිය කල් ගියා.

පසුවත් එහි සත්කාරකත්වය අපිට ලබා ගැනීමට හැකි දැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විමසූ අතර අපි ද එයට ප්‍රතිචාර ලබා දුන්නා. අපගේ පළමු සැලසුම වුනේ ඩකා නුවරයි. ඒත් ජාත්‍යන්තර තරගාවලි සහ අනෙක් තරගාවලි නිසා ඩකා නුවර මෙම තරගාවලියට වෙන් කරන්න අපිට අමාරුයි.

අපිට ඩකා නුවරින් පිටත මෙය සංවිධානය කරන්නට උත්සහ දැරුවොත් ඒ සඳහා ප්‍රවාහන වියදම් ඇතුළු විශාල වියදමක් දරන්න වෙනවා. ඒ නිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විකල්ප කිහිපයක් සලකා බලා තරගාවලියේ සත්කාරකත්වය ඩකා නුවරට ලබා දීමට කටයුතු කළා.

ඒක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අපෙන් ගත්තා නෙවෙයි. ඔවුන් අපිට යෝජනා කළා, නමුත් ජාත්‍යන්තර තරග සහ අපගේ දේශීය ලීග් තරග නිසාවෙන් අපි මේ තරගාවලිය පිළිබඳව උනන්දු වුනේ නැහැ”.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<