චෙන්නායි පළමු ජයග්‍රහණයට මහීෂ්ගෙන් කඩුලු 4ක්

IPL ක්‍රිකට් තරගාවලිය 2022

329

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 22 වැනි තරගයෙන් ලකුණු 23ක ජයක් ලබාගෙන මෙවර IPL තරගාවලිය තුල ලබා ගත් පළමු ජයග්‍රහණය ලබා ගන්නට Chennai Super Kings කණ්ඩායම අද (12) සමත් වුනා.

Royal Challengers Bangalore කණ්ඩායමට එරෙහිව පැවති මේ තරගයේ දී මහීෂ් තීක්ෂණ ලකුණු 33කට කඩුලු 4ක් දවාගෙන පන්දු යැවීමෙන් සුපිරි දස්කම් දැක්වූවා.

Mumbai නුවර DY Patil ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් Royal Challengers Bangalore (RCB) ඇරයුමින් පළමුව පන්දුවට පහරදුන් Chennai කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 216ක් ලබා ගත්තා.

එහි දී සුපිරි සහ වේගවත් පිතිකරණයක නිරත වුනු Shivam Dube සිය විස්සයි විස්ස දිවියේ දියත් කළ හොඳම ඉනිම දියත් කරමින් පන්දු 46ක් තුල නොදැවී ලකුණු 95*ක් ලබා ගත් අතර ඔහුගේ එම සටන්කාමී ඉනිමට 4 පහර 5ක් සහ 6 පහර 8ක් ඇතුළත් වුනා.

Dube සහ Robin Uthappa එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 74ක දී ලකුණු 165ක සුපිරි සබඳතාවයක් ගොඩනැංවූ අතර Uthappa 4 පහර 4ක් සහ 6 පහර 9ක් සමඟ පන්දු 50ක දී ලකුණු 88ක් ලබාගෙන සිටිය දී වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

Chennai කණ්ඩායම ඔවුන්ගේ ඉනිමේ පළමු පන්දුවාර 10 අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 60ක් ලබාගෙන සිටි අතර ඔවුන් අවසන් පන්දුවාර 10 තුල RCB පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 156ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

එම පන්දුවාර 10 සෑම පන්දුවාරයක් සඳහාම ලකුණු 10කට වඩා ලබාගෙන RCB කණ්ඩායමට දැඩි පීඩනයක් ලබා දීමට Chennai පිතිකරුවන් සමත් වුනු අතර IPL තරගාවලිය තුල එවැනි ආකාරයේ සුවිශේෂී සිදුවීමක් සිදු වූ පළමු අවස්ථාව මෙයයි. පන්දු යැවීමේ දී RCB වෙනුවෙන් දිනයේ හොඳම පන්දු යැවීමේ දස්කම් දැක්වූ වනිඳු කඩුලු 2ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම දියත් කළ RCB කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 193ක් ලබාගෙන Chennai කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් ලබා දුන්නා. ඔවුන්ගේ පළමු මුල්පෙළ කඩුලු 4 (Faf du Plessis, Virat Kohli, Anuj Rawat, Glenn Maxwell) ලකුණු 50ක් තුල දැවී ගොස් තිබූ පසුබිමක Shahbaz Ahmed ලකුණු 41ක් ලබා ගන්නා විට, Dinesh Karthik සහ Suyash Prabhudessai 34 බැගින් වාර්තා කරගෙන දස්කම් අතරට පැමිණියා.

පන්දු යැවීමේ දී සිය දෙවැනි IPL තරගය සඳහා ක්‍රීඩා කළ මහීෂ් සිය පන්දුවාර 4 තුල නිලකුණු පන්දු 10ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 33කට RCB කණ්ඩායමේ ප්‍රබල කඩුලු 4ක් (Faf du Plessis, Anuj Rawat, Shahbaz Ahmed, Suyash Prabhudessai) දවා ගැනීමට සමත් වුනා. Shivam Dube තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

Chennai Super Kings – 216/4 (20): Shivam Dube 95*, Robin Uthappa 88, Wanindu Hasaranga 2/35

Royal Challengers Bangalore193/9 (20): Shahbaz Ahmed 41, Dinesh Karthik 34, Suyash Prabhudessai 34, Glenn Maxwell 26, Maheesh Theekshana 4/33, Ravindra Jadeja 3/39.

  • තරගයේ වීරයා – Shivam Dube (CSK)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<