අපි පැරදුණේ කඹ ඇදිල්ලක් නිසාලු – ශ්‍රී ලංකා-කොදෙව් කාන්තා ක්‍රිකට් තරගාවලියේදී

120

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින හා විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූයේ කණ්ඩායම තුළ කල්ලි දෙකක් නිර්මාණය වීමේ ප්‍රතිඵලයක් නිසා බව “මව්බිම”ට වාර්තා වේ.

නිමාවට පත්වූ එම කොදෙව් තරගාවලියේ තරග හතරකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-1ක් ලෙස හා විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස පරාජය ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

මෙසේ ජේ‍යෂ්ඨ ක්‍රීඩිකාවන් දෙදෙනකු වටා කල්ලි දෙකක් නිර්මාණය වී ඇත්තේ නායකත්වය ඇතුළු ක්‍රීඩිකාවන් කිහිප දෙනකු හා නිලධාරිණියක් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු නිසා බවය. තවද මෙකී නිලධාරිණිය ඉහළ නිලධාරියකු සමග හිතවත්කම් පවත්වමින් කටයුතු කිරීමද මෙවන් බෙදීම් නිර්මාණය වීමට තවත් හේතුවක් වී ඇතැයිද පැවැසේ. මේ හේතුවෙන් කණ්ඩායමේ විනය පිරිහී ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියකු සඳහන් කළේය.

“කල්ලි දෙකක් නිර්මාණය වීම නිසා ඉන් අත්වන අයහපත් ප්‍රතිඵල ප්‍රධාන වශයෙන් බලපාන්නෙ කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට නොව ශ්‍රී ලංකා කණ්ඩායමටයි. මේ තත්ත්වය නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකෙ අනිත් රටවල් අතරින් පහළට යනවා” යනුවෙන් පෙන්වා දුන් එම නිලධාරියා 2013 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී පස්වැනි තැන සිටි ශ්‍රී ලංකාව 8 වැනි තැනට පත්ව ඇත්තේ මෙම පිල් බෙදීම නිසා බවද පෙන්වා දුන්නේය.

කොදෙව් සමඟ නිමාවට පත්වූ එක්දින තරගාවලිය 2017 වසරේ එංගලන්තයේදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තෝරාගැනීමේ ප්‍රධාන තරගාවලියක් ලෙස පිළිගැනුණද මෙහිදී අත්වූ පරාජය 2017 ලෝක කුසලාන තරගාවලියේ සහභාගිත්වයට සුබ ලකුණක් නොවන බවද සඳහන් වේ.