දෙකට බෙදී තරග කළ අළුබඳුන ප්‍රතිවාදීන් එකට දඩ කයි!

The Ashes 2023

697

2023 අළුබඳුන තරගාවලියේ දී අඩු පන්දුවාර වේගයක් (Slow Over Rate) රඳවා ගැනීම නිසා ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය යන කණ්ඩායම් දෙකට ම දඩ සහ දඬුවම් ලකුණු නියම වී තිබෙනවා.

ICC ටෙස්ට් ලෝක ශූරතාව යටතේ පැවැත්වුණ 2023 අළුබඳුන තරගාවලිය නිමා වන විට ඕස්ට්‍රේලියාවට ලකුණු 10ක් අහිමි වී ඇති අතර එංගලන්තයට අහිමි වී ඇති ලකුණු ප්‍රමාණය 19ක් (දඬුවම් ලකුණු) ලෙසයි සටහන් වන්නේ.

මෙහි දී එංගලන්තය විසින් පළමු ටෙස්ට් තරගයේ දී පන්දුවාර 2ක්, දෙවැනි ටෙස්ට් තරගයේ දී පන්දුවාර 9ක්, සිව්වැනි ටෙස්ට් තරගයේ දී පන්දුවාර 3ක් සහ පස්වැනි ටෙස්ට් තරගයේ දී පන්දුවාර 5ක් අඩුවෙන් යොමු කර ඇති බව ICC විසින් සඳහන් කරනවා.

ඒ අනුව මෙම තරගාවලිය තුළ එංගලන්තයේ විසින් උපයා ගත් ටෙස්ට් ලෝක ශූරතා ලකුණු වලින් එක් පන්දුවාරයකට එක් ලකුණ බැගින් ඔවුන්ට ලකුණු 19ක් අහිමි වනවා.

මීට අමතරව පමා වූ එක් පන්දුවාරයකට 5%ක් බැගින් දඩ එකතු කරමින් ඔවුන්ගේ තරග ගාස්තුව ද අඩු කර තිබෙනවා. ඒ අනුව එංගලන්තයට පළමු තරගයෙන් 10%ක්, දෙවැනි තරගයෙන් 45%ක්, සිව්වැනි තරගයෙන් 15%ක් සහ පස්වැනි තරගයෙන් 25%ක් ලෙස දඩ නියම වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම ගැටලුව එංගලන්තයට තරම් බලනොපෑව ද, ඕස්ට්‍රේලියාවට ද යම් පමණකට බලපෑමක් කර ඇති අතර සිව්වැනි ටෙස්ට් තරගයේ දී පන්දුවාර 10ක ප්‍රමාදයක් සිදු වීම නිසා ඔවුන්ට දඬුවම් ලකුණු 10ක් හිමි වී ඇති අතර, තරග ගාස්තුවෙන් 50%ක් ද අහිමි වී තිබෙනවා.

මේ අනුව 2-2ක් ලෙස අවසන් වූ අළුබඳුන තරගාවලියේ දී කණ්ඩායම් දෙක ම ලකුණු 28 (ටෙස්ට් ලෝක ශූරතා ලකුණු සටහනේ) බැගින් හිමි කර ගත්ත ද, ඒවායින් එංගලන්තයට ඉතිරි වුනේ ලකුණු 9ක් පමණයි. ඕස්ට්‍රේලියාවට ලකුණු 18ක් ඉතිරි වී තිබෙනවා.

ටෙස්ට් ලෝක ශූරතාවට අදාළ ව තරගයක් ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ලකුණු 12ක් සහ ජය පරාජයෙන් තොරව අවසන් වීම සඳහා ලකුණු 4ක් ප්‍රදානය කරනවා.

එමෙන්ම යම් කණ්ඩායමක් විසින් පන්දුවාර 80 ඇතුළත සිය ප්‍රතිවාදීන් දවා ගතහොත් හෝ පන්දුවාර 160ක් ඇතුළත දෙවතාවක් සිය ප්‍රතිවාදීන් දවා ගැනීමට සමත් වුවහොත් එවිට ඔවුන්ට මෙම පන්දුවාර වේගය පිළිබඳ ගැටලුවෙන් නිදහස් වීමට අවස්ථාවක් හිමි වනවා.

මේ වන විට ටෙස්ට් ලෝක ශූරතා ලකුණු සටහනේ පෙරමුණේ පාකිස්තානය රැඳී සිටින අතර ඕස්ට්‍රේලියාව එහි තෙවැනි ස්ථානයේත්, එංගලන්තය එහි 5 වැනි ස්ථානයේත් රැඳී සිටිනවා.

මේ අතර මෙම දඬුවම් ලකුණු සහ දඩ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු Usman Khawaja විසින් Twitter හරහා සිය මෙසේ අප්‍රසාදය පළ කර තිබුණා.

“මැන්චෙස්ටර් (සිව්වැනි තරගයේ) වල තිබුණු දින දෙකක වර්ෂාව නිසා දෙවැනි ඉනිමේ පන්දු යවන්න පවා අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් ICCය තවමත් දඩ මුදල් සහ ලකුණු 10කුත් ඉවත් කරලා.”

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz සහ Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<