Pietersenට කට උත්තරත් නෑ!

The Ashes 2023

2063
​Ponting dismantles his old ashes rival kevin pietersen

2023 අළුබඳුන තරගාවලියේ පළමු තරගයේ අවසන් දිනය අද (20) පැවැත්වීමට වීමට නියමිතයි.

මේ වන විට තරගයේ ජයග්‍රහණය සොයා යමින් සිටින ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තරගයේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 174ක් අවශ්‍ය වන අතර, එංගලන්ත කණ්ඩායමට තරගය ජයග්‍රහණය කිරීමට නම් ඕස්ට්‍රේලියාව විසින් නියමිත ඉලක්කය පසු කිරීමට ප්‍රථම තවත් කඩුලු 7ක් බිඳ හෙළිය යුතුයි.

දිගු ඉතිහාසයක් සහිත අළුබඳුන තරගාවලිය තියුණු තරගවලින් මෙන් ම ක්‍රීඩක ගැටුම් සඳහා ද ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන බව නොරහසක්. විටෙක එය තරගයට සහභාගී වන ක්‍රීඩකයින් අතර පමණක් නොව විස්තර විචාරක කුටිය තුලින් ද පිළිබිඹු වනවා.

බොහෝ විට අතීතයේ ප්‍රතිවාදීන් ලෙස අළුබඳුන නියෝජනය කළ ක්‍රීඩකයින් අද විස්තර විචාරකයින් ලෙස තරගයට සහභාගී වෙමින් සිය උණුසුම් අදහස් බෙදා හදා ගන්නා අයුරු ද දකින්නට පුළුවන්.

මේ අතර අතීතයේ එංගලන්තය වෙනුවෙන් තුන් ඉරියව්වෙන් ම කැපී පෙනෙන දස්කම් පෙන්වීමට සමත් වූ Kevin Pietersen ද අද වන විට සිය විශේෂඥ අදහස් බෙදා ගනිමින් තරග විස්තර විචාරය සඳහා එක් වී තිබෙනවා.

ඒ අනුව මෙවර අළුබඳුන තරගාවලිය වෙනුවෙන් Pietersen විසින් ලබා දෙන අදහස් වලට ද ඉහළ වටිනාකමක් හිමි වී ඇති අතර, මෙවර තරගාවලියේ පළමු තරගය වෙනුවෙන් එංගලන්තය විසින් යොදා ගත් වේගපන්දු බළඇණිය පිළිබඳ ඔහු විසින් සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ ව විදෙස් මාධ්‍ය තුළ විශේෂ අවධානයක් යොමු වී තිබුණා.

මෙහි දී ඔහු විසින් සඳහන් කරන්නේ වත්මන් එංගලන්ත වේගපන්දුව ප්‍රතිවාදී පිතිකරුවන් බිය ගන්වන අන්දමේ එකක් නොවන බවයි.

“මම අපේ වේගපන්දු බළඇණියට අගෞරව කරන්න අදහස් කරන්නේ නැහැ. නමුත් ඔවුන්ට බය හිතෙන්නේ නැහැ. මම ඒක වේගය පැත්තෙත් කියනවා නම් ඔබට පැයට සැතපුම් 80-83 වේගයෙන් පන්දු යවන අය ඉන්නවා. නමුත් ඔබට 95ට පන්දු යවන Mitchell Johnson හෝ Shoaib Akhtar නැහැ. ඔබට අඩු ම තරමේ Woody (Mark Wood) වත් නැහැ.”

ඔහු මේ බව සඳහන් කළේ ඕස්ට්‍රේලියානු මැදපෙළ පිතිකරු Travis Head හට කෙටි පන්දුවලට මුහුණ දීමේ දුර්වලතාවක් ඇති බව විනිශ්චය කරමිනුයි. එවැනි ක්‍රීඩකයකුට ආක්‍රමණශීලී ලෙස පන්දු යැවීමට වේගවත් පන්දු යවන්නෙකු සිටිය යුතු බවයි Pietersen විසින් සඳහන් කරන්නේ.

Pietersen සහ අනෙක් විස්තර විචාරකයින් විසින් ද සිදු කරන මෙවන් විශ්ලේෂණ මඟින් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ඉතා හොඳ දැනුමක් සහ යාවත්කාලීන වීමක් ලබා ගත හැකි බව අවිවාදිතයි.

නමුත් අළුබඳුන තරගාවලියක උණුසුම උත්සන්න වීමට නම් දෙරට අතර සිදු වන උණුසුම් වාග් ප්‍රහාර ද හේතුවක් වනවා. Pietersen විසින් පල කළ විශේෂඥ අදහස් වලට මෙන් ම ඊයේ (19) ඔහුට සිදු වූ යම් අකරතැබ්බයක් පිළිබඳවත් විදෙස් මාධ්‍ය විශේෂ අවධානයක් ලබා දී තිබුණේ මේ උණුසුම නිසාමයි.

2023 අළුබඳුන තරගාවලියේ පළමු තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ එංගලන්තය සුපිරි පිතිකරු Joe Root විසින් එංගලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් ආක්‍රමණශීලී ඉනිමක් දියත් කිරීමට සමත් වුනා.

තරගයේ තෙවැනි දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම දියත් කරමින් සිටි එංගලන්තය කඩුලු 2කට ලකුණු 28ක් ලබා සිටි අතර, සිව්වැනි දිනයේ දිවා ආහාරය වන විට එය කඩුලු 5කට ලකුණු 155ක් දක්වා ඉහළ නැංවීමට එංගලන්ත පිතිකරුවන් විසින් සමත් වුනා. මෙහි දී Joe Root විසින් පන්දු 55ක් පමණක් වැය කරමින් ලකුණු 46ක් ලබා ගැනීමට සමත් වූ අතර Naythan Lyon විසින් යැවූ පන්දුවක් හමුවේ ඔහුගේ ඉනිම නිමා වුනා. Rootගේ මෙම ආක්‍රමණශීලී පිතිකරණය එංගලන්තයට ඉක්මනින් සිය ලකුණු සංඛ්‍යාව ඉහළ දමමින් ඕස්ට්‍රේලියාවට පීඩනයක් එක් කිරීමට හේතුවක් වුනා.

ඊයේ දිනයේ දිවා ආහාරය වෙනුවෙන් තරගය නතර කිරීමෙන් පසුව උදෑසන සැසිය විශ්ලේෂණ කිරීමට පැමිණි Kevin Pietersen විසින් Rootගේ මෙම ඉනිම විශේෂ අගය කිරීමට භාජනය කළා. එමෙන්ම එම ප්‍රකාශය අතරතුර සිය ප්‍රතිවාදී ඕස්ට්‍රේලියානු විස්තර විචාරක සගයා වූ Ricky Pontingව ද එම සාකච්ඡාවට ඈඳා ගැනීමට Pietersen විසින් උත්සාහ කළා.

“Joe Rootට තරගය අයිති වුනා. ඔහු තරගය ඉදිරියට ගෙන ගියා. ඔහු ඉතාමත් ගුණාත්මක ලෙස ක්‍රීඩා කළා, ඔහු ඒ අවකාශය අයිති කර ගත්තා. මෙයාලා (Ponting දෙසට ඇඟිල්ල දිගු කරමින්) ‘අපි දැන් මොකක්ද කරන්නේ’ කියලා ඔළුව කසමින් හිටියා.”

Pietersen විසින් සිය ක්‍රීඩකයා අගය කරමින් Pontingට සහ ඕස්ට්‍රේලියා පන්දු යවන්නන් හට සියුම් කනේ පහරක් එල්ල කිරීමට උත්සාහ කළත් Ponting විසින් එය පෙරළා Pietersen වෙතට ම යොමු කළා.

“ඒත් එයා දැන් අවුට්, එයා ලකුණු 40යි ලබාගත්තේ.”

මෙම තරගයේ අවසන් දිනය පිළිබඳ මෙන් ම තරගාවලියේ සියලු තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<