Ashwinට ලැබෙන කුඩම්මාගේ සැලකිල්ල

1985

තමන්ට ඉන්දීය ජාතික කණ්ඩායම තුළ ස්ථාවර ස්ථානයක් හිමි වුනා නම් තමන් කණ්ඩායම තුළ සිය වගකීම පිළිබඳ අනවශ්‍ය ලෙස නොසිතා සිටීමට ඉඩ තිබූ බව Ravichandran Ashwin විසින් සඳහන් කරනවා.

නිමා වූ ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරගයේ දී ඉන්දීය ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස සැලකුම් ලබන Ravichandran Ashwin හට ඉන්දීය කණ්ඩායමේ ඉඩක් නොලැබීම පසුගිය කාලය පුරා කතාබහට ලක් වූ කාරණයක්.

විශේෂයෙන්ම ක්‍රිකට් පිළිබඳ ඉතා හොඳ දැනුමක් සහ අවබෝධයක් සහිත ක්‍රීඩකයෙකු බව සැලකෙන Ashwin මීට පෙර Virat Kohli විසින් ඉන්දීය ටෙස්ට් නායකත්වයට සමුදීමෙන් පසු ඉන්දීය නායකයා විය යුතු බව කිහිප දෙනෙකු විසින් විශ්වාස කළ බවත් දැන ගන්නට ලැබුණා.

නමුත් එම අදහස තවත් පිරිසක් විසින් ප්‍රතික්ෂේප කර දැමුවේ Ashwinහට කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් පවා නොමැති බව උලුප්පා දක්වමින්.

පසුගිය දා ඉන්දීය වෙබ් අඩවියක් වන Indian Express සමඟ සිදු කළ සාකච්ඡාවක් අතරතුර Ashwin විසින් තමන් ගැන බාහිර සිට බලා හිඳින්නන් විසින් දක්වන මත පිළිබඳ අදහස් පළ කළා.

“ගොඩක් මිනිස්සු මම ඕනෑවට වඩා හිතන කෙනෙක් (Over thinker) විදිහට සලකනවා.

යන ගමනේ තරග 15-20ක් ලැබෙන පුද්ගලයකුට ඕනෑවට වඩා හිතන්න දෙයක් නැහැ. නමුත් තමන්ට ලැබෙන්නේ තරග දෙකක් පමණයි කියලා දන්න කෙනෙක් කම්පනයට පත් වෙන්න වගේ ම අනවශ්‍ය විදිහට හිතන්න යොමු වෙන්න පුළුවන්. මොකද ඒක තමයි මගේ වගකීම. ඒ තමයි මගේ ගමන. ඒ නිසා මෙය මට ගැළපෙනවා.

කවුරු හරි මට කියනවා නම් ‘ ඔබ තරග 15ක් ක්‍රීඩා කරනවා, ඔබට ඊට පසුව බලා ගන්නවා, ඔබ මේ තැන හිඳී වී. ඔබ මේ ක්‍රීඩකයින් වෙනුවෙන් වගකියා වී. ඔබ නායකත්ව වගකීමක් දරාවිකියලා. එහෙනම් මම ඕනෑවට වඩා හිතන්න පෙලඹෙන එකක් නැහැ.

කවුරු හරි අධි චින්තකයෙක් කියලා කියන එක හරි අසාධාරණයි. මොකද ඒ එයාගේ ගමන. කාටවත් අයිතියක් නෑ ඒ ගැන විවේචන කරන්න.”

Ravichandran Ashwin හට එල්ල වන ප්‍රධානතම චෝදනාවක් සහ බොහෝ දෙනෙකු ඔහුව හැඳින්වීමට යොදා ගන්නා Overthinker යන යෙදුම පිළිබඳ Ashwin විසින් දක්වන්නේ එවන් අදහසක්.

මෙය ඔහුට කෙතරම් බලපෑමක් ඇති කරා ද යන ගැට‍ලුව Ashwin වෙත මීළඟට යොමු වෙනවා.

“එය මට එරෙහිව ක්‍රියා කළා. ඒ වගේ ම මට නායකත්ව ගැට‍ලු එද්දී මිනිස්සු සිදු කළ ප්‍රකාශ තියෙනවා. ඉන්දියාව විදෙස් සංචාරයක් කරද්දී මගේ නම කණ්ඩායමේ මුල් ක්‍රීඩකයින් අතර නැති බව කියපු අය හිටියා.

මගේ නම කණ්ඩායම් ලැයිස්තුවේ තියෙනවා හෝ නැහැ කියන එක මගේ පාලනය යටතේ තියෙන දෙයක් නෙවෙයි. මම එය උපයා ගත්තා නම් මම එහි සිටිය යුතුයි. ඒ තමයි මම විශ්වාස කරන විදිහ. මට කිසිම පැමිණිල්ලක් නැහැ. මට කිසිම දෙයක් ගැන පසුතැවෙන්න හෝ පහර එල්ල කරන්න හෝ වෙලාවක් නැහැ. මට කිසිම කෙනෙක් ගැන පසුතැවීමක් නැහැ.”

ඔහුගේ නම ඉන්දීය නායකත්වය වෙනුවෙන් යෝජනා වූ අවස්ථා වල හිටපු විශිෂ්ට ඉන්දීය ක්‍රීඩකයින් පවා ඔහුව නොසලකා හරිමින් සිදු කළ යම් ප්‍රකාශ පිළිබඳ Ashwin විසින් අද දරන්නේ එවන් අදහසක්.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<