Home Sinhala වනිඳුගේ නැගිටීම හමුවේ UAEට දරුණු පරාජයක්!

වනිඳුගේ නැගිටීම හමුවේ UAEට දරුණු පරාජයක්!

545

සිම්බාබ්වේ හිදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ තම පළමු තරගයට මුහුණ දුන් ශ්‍රී ලංකාව අද (19) එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 175කින් පරාජය කර දැමුවා.

ඒ මුල්පෙළ පිතිකරුවන්ගේ සාර්ථකත්වයේත්, වනිඳු හසරංගගේ අතිවිශිෂ්ට පන්දුකරණයේත් අවසන් ප්‍රතිඵලය ලෙසයි.

බුලවායෝ හිදී දිවා තරගයක් ලෙසින් ඇරඹුණු මෙම තරගයේ මුලින් පන්දුවට පහර දීමට කණ්ඩායම් දෙක තුලම පැවතියේ දෙගිඩියාවක්. ඒ වැඩි කාලයක් වසා දමා තිබූ තෙතමනය සහිත තණතිල්ල කෙසේ හැසිරේවි ද යන්න ප්‍රශ්නාර්ථයක් වූ නිසයි. කෙසේ වෙතත්, කාසියේ වාසිය එක්සත් අරාබි එමීර් නායක Muhammad Waseemට හිමි වීම නිසා ඔහු පිතිකරණ අභියෝගය ශ්‍රී ලංකාවට භාර කළා.

මෙම තරගාවලිය වෙනුවෙන් පැවති පුහුණු සැසියක් අතරේ පන්දුවක් රැක ගැනීමට උත්සාහ දැරූ දුෂ්මන්ත චමීර සුළු ආබාධයකට ලක්ව තිබීම නිසා අද තරගයෙන් ඔහුව විවේක ගන්වා තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකාව කසුන් රාජිත සහ ලහිරු කුමාර යන ප්‍රධාන වේගපන්දු යවන්නන් දෙදෙනා ලෙසත්, වනිඳු හසරංග සහ මහීෂ් තීක්ෂණ ප්‍රධාන දඟපන්දු යවන්නන් දෙදෙනා ලෙසත් නම් කර තිබුණේ ඉතිරි පන්දුවාර 10 ධනංජය සිල්වා සහ දසුන් ශානකගෙන් සපුරා ගැනීමේ බලාපොරොත්තු ඇතිවයි.

අද ඉනිම ඇරඹූ දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක මුල් පන්දුවාරවල දී තරමක් දුෂ්කරතාවකට මුහුණ දුන්නත්, අවසානයේ ලකුණු 95ක සාර්ථක අඩිතාලමක් දමා දීමට සමත් වුනා.

එහි දී කඩුල්ල මුවා කිරීමේ වරදට එක්සත් අරාබි ක්‍රීඩකයින් ඉල්ලීම් කළ අවස්ථා කිහිපයක් සේම, පන්දුව පිත්ත අසලින්ම කඩුලු රකින්නා අතට ඇදී ගිය අවස්ථා රැසක දී ම ශ්‍රී ලංකාව කඩුලු ලබා නොදීමට වාසනාවන්ත වුනා.

නැවතත් එක්දින කණ්ඩායමට පිවිසීම සාධාරණීකරණය කරමින් සිටින දිමුත් කරුණාරත්න අද හතරේ පහර 7ක් සමඟින් අද තම 9 වැනි අර්ධ ශතකය සම්පූර්ණ කළා. ඔහු දැවී ගියේ Aayan Khanගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීම නිසයි. අද දිනයේ පන්දු යැවීම අරඹමින් යැවූ පළමු පන්දුවෙන්ම පැතුම් නිස්සංකගේ කඩුල්ල බිඳ දැමීමට Basil Hameed සමත් වුනා. පැතුම් අද තම ලකුණු 57 වෙනුවෙන් පන්දු 76ක් වැය කළා.

>>WATCH – Warm-up වලින් රත්වුණු ශ්‍රී ලංකාව Qualifier සටනට සූදානම් ද? – Dialog Cricket Chat | #SLvUAE<<

සාර්ථක ආරම්භයකින් පසු විය යුතුම අයුරින් ඉනිමේ ලකුණු වේගය වැඩි කිරීමේ වගකීම කුසල් මෙන්ඩිස් සහ සදීර සමරවික්‍රම භාර ගත්තා. කවදත් ප්‍රහාරයට කැමති කුසල් මෙන්ඩිස් අද ලකුණු 78ක් ලබා ගැනීම වෙනුවෙන් වැය කළේ පන්දු 63ක් පමණයි. ඒ අතරේ ඔහු හතරේ පහර 10ක් එල්ල කළා. පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානය අතරේ ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් දවා ගත් Karthik Meiyappanට එරෙහිව පිට පිටම හතරේ පහර ත්‍රිත්වයක් එල්ල කිරීමට කුසල් සමත් වීම ඒ අතරින් කැපී පෙනුණා.

නොතිබූ ලකුණක් කරා වේගයෙන් දිව යාමට උත්සාහ දැරූ සදීර සමරවික්‍රම අවාසනාවන්ත ලෙස දැවී යන විට ඔහු ලකුණු 73ක් රැස්කර තිබුණා. ඒ හතරේ පහර 9ක් සමඟයි. ඒ වෙනුවෙන් පන්දු 64කට පමණක් මුහුණ දුන් සදීර මේ අයුරින් ලකුණු අතරට පැමිණීම ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් වී තිබෙනවා. ඉනිමේ අවසන් කොටසේ දී පිතිකරණ ලැයිස්තුවේ උසස්වීම් ලබා පිටියට පිවිසි දසුන් ශානක අද එල්ල කළ පළමු ප්‍රවේගකාරී පහරින්ම දැවී ගියා.

කෙසේ වෙතත් වනිඳු හසරංග අද තමන්ට මුහුණ දීමට ලැබුණු පන්දු 12න් උපරිම ප්‍රයෝජන ගත්තේ ලකුණු 23ක් සොරා ගනිමින්. ඒ අතරේ ඔහු Zahoor Khan වැනි පරිණත පන්දු යවන්නන්ට එරෙහිව සාර්ථකව පිත්ත හසුරුවමින් හතරේ පහර 3ක් උදුරා ගත්තා.

අනෙක් අන්තයේ සිටි චරිත් අසලංකට මේ නිසා අර්ධ ශතකය කරා යාමේ අවස්ථාව නම් ගිලිහී ගිය අතර ඔහු පන්දු 23කින් නොදැවී ලකුණු 48ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟයි. අවසන් පන්දුවාර 10 තුල දී ශ්‍රී ලංකාව ලකුණු 108ක් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකාව අද ක්‍රීඩා කළ ඉනිම අංග සම්පූර්ණ එක්දින ඉනිමක් ලෙස නම් කළ හැකි අතර ස්ථාවර ආරම්භයකුත්, සාර්ථක ඉනිම් ගොඩ නැගීමක් සහ ප්‍රවේගකාරී අවසානයක් යන කරුණු 3ම එහි දකින්නට ලැබුණා. පන්දුවාර 50 අවසානයේ ඔවුන් කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 355ක්. පන්දු යැවීමේ දී Ali Nazeer පමණක් කඩුලු 2කට හිමිකම් කියූ අතර Zahoor Khan සහ Karthik Meiyappan යන ඔවුන්ගේ තුරුම්පු 2ම අද මුළුමනින්ම අසාර්ථක වීම විශේෂත්වයක්.

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍යය පළමු කඩුල්ලට ලකුණු 36ක් එක් කිරීමට සමත් වුනා. පළමු කඩුල්ල ලෙස Rohan Mustafa දැවී ගියේ ඔහු එල්ල කළ පුල් පහර වැරදී අහස් කූරක් ලෙස ඉහළ නැගුණු පන්දුව ලහිරු කුමාර විසින්ම රැක ගත් නිසයි. දෙවැනි කඩුල්ල ලෙස නායක Muhammad Waseem මුළු ලකුණු 82 දී දැවී යාමත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගරා වැටීම ආරම්භ වුනා.

ලකුණු 39ක් ලබා සිටි Waseem දවා ගැනීම වෙනුවෙන් චරිත් අසලංක හතරේ සීමාව ආසන්නයේ සිට සුපිරි උඩපන්දුවක් රැක ගත්තා. Basil Hameed පිටියට පැමිණි විගස දැවී ගියේ වනිඳු හසරංගට එකම පන්දුවාරයේ දී කඩුලු 2ක්ම හිමිකර දෙමින්. යළි ක්‍රියාත්මක වූ හසරංග Asif Khanව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේ විනිසුරු දෙසවත් බැලීමට අවශ්‍ය නොවන තරමට එය අනිවාර්ය දැවී යාමක් වූ නිසයි.

පන්දු 55කින් ලකුණු 39ක් ලබා සිටි Vriitya Aravind අද ධනංජය ද සිල්වාගේ පන්දුවකට ගොදුරු වුනා. වමත් පිතිකරු Ali Nazeer තරමක් වේගයෙන් පන්දුවට පහර දෙමින් තම කණ්ඩායම වැටුණු වලෙන් ගොඩ ගැනීමට උත්සාහ කළ ද, මහීෂ් තීක්ෂණගේ අද්භූත පන්දුවක් තේරුම් ගන්නට නොහැකිව කඩුල්ල බිඳ ගත්තා.

නැවතත් ක්‍රියාත්මක වූ වනිඳු හසරංග පිළිවෙළින් Rameez Shahzad, Aayan Khan සහ Jawadullah යන ක්‍රීඩකයින් තිදෙනාගේ කඩුලු බිඳ දැමුවේ තම හොඳම එක්දින පන්දු යැවීම සනිටුහන් කරමින්. ඔහු අද පන්දුවාර 8ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 24කට කඩුලු 6ක් දවා ගත්තා. මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ඕනෑම පන්දු යවන්නෙක් දැක්වූ හොඳම දක්ෂතාවය ද වෙනවා. පන්දුවාර 39ක් තුල දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියලුම කඩුලු බිඳ වැටෙන විට ඔවුන් ලබා සිටියේ ලකුණු 180ක් පමණයි.

Result


Sri Lanka
355/6 (50)

United Arab Emirates
180/10 (39)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka b Basil Hameed 57 76 5 0 75.00
Dimuth Karunaratne lbw b Aayan Afzal Khan 52 54 7 0 96.30
Kusal Mendis c Ethan D’Souza b Ali Naseer 78 63 10 0 123.81
Sadeera Samarawickrama run out (Vriitya Aravind) 73 64 9 0 114.06
Charith Asalanka not out 48 23 5 2 208.70
Dasun Shanaka c Muhammad Jawadullah b Ali Naseer 1 3 0 0 33.33
Dhananjaya de Silva lbw b Rohan Mustafa 5 5 0 0 100.00
Wanindu Hasaranga not out 23 12 3 0 191.67


Extras 18 (b 5 , lb 8 , nb 0, w 5, pen 0)
Total 355/6 (50 Overs, RR: 7.1)
Fall of Wickets 1-95 (16.6) Dimuth Karunaratne, 2-138 (26.1) Pathum Nissanka, 3-243 (39.2) Kusal Mendis, 4-287 (44.3) Sadeera Samarawickrama, 5-292 (45.3) Dasun Shanaka, 6-297 (46.2) Dhananjaya de Silva,

Bowling O M R W Econ
Muhammad Jawadullah 7 0 55 0 7.86
Ali Naseer 10 1 44 2 4.40
Zahoor Khan 8 0 72 0 9.00
Rohan Mustafa 7 0 55 1 7.86
Aayan Afzal Khan 10 0 52 1 5.20
Karthik Meiyappan 5 0 45 0 9.00
Basil Hameed 3 0 19 1 6.33


Batsmen R B 4s 6s SR
Muhammad Waseem c Charith Asalanka b Wanindu Hasaranga 39 48 5 1 81.25
Rohan Mustafa c & b Lahiru Kumara 12 15 2 0 80.00
Vriitya Aravind lbw b Dhananjaya de Silva 39 55 3 0 70.91
Basil Hameed lbw b Wanindu Hasaranga 0 3 0 0 0.00
Asif Khan lbw b Wanindu Hasaranga 8 7 1 0 114.29
Rameez Shahzad b Wanindu Hasaranga 26 43 2 0 60.47
Ali Naseer b Mahesh Theekshana 34 32 3 1 106.25
Aayan Afzal Khan b Wanindu Hasaranga 5 17 0 0 29.41
Karthik Meiyappan run out (Mahesh Theekshana) 0 2 0 0 0.00
Zahoor Khan not out 6 11 0 0 54.55
Muhammad Jawadullah b Wanindu Hasaranga 0 1 0 0 0.00


Extras 11 (b 0 , lb 5 , nb 0, w 6, pen 0)
Total 180/10 (39 Overs, RR: 4.62)
Fall of Wickets 1-36 (5.3) Rohan Mustafa, 2-82 (16.1) Muhammad Waseem, 3-82 (16.4) Basil Hameed, 4-94 (18.3) Asif Khan, 5-119 (24.2) Vriitya Aravind, 6-167 (32.6) Ali Naseer, 7-170 (34.1) Rameez Shahzad, 8-170 (34.3) Karthik Meiyappan, 9-180 (38.5) Aayan Afzal Khan, 10-180 (38.6) Muhammad Jawadullah,

Bowling O M R W Econ
Kasun Rajitha 6 0 35 1 5.83
Lahiru Kumara 6 0 26 1 4.33
Mahesh Theekshana 10 0 43 0 4.30
Dasun Shanaka 5 0 22 0 4.40
Wanindu Hasaranga 8 1 24 6 3.00
Dhananjaya de Silva 4 0 25 1 6.25



තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකා ඉනිම ලකුණු 350න් ඉහළට ඔසවා තැබීමෙන් අනතුරුව කලාතුරකින් දකින්නට ලැබෙන ආකාරයේ විශිෂ්ට පන්දු යැවීමක ද යෙදුණු වනිඳු හසරංගට හිමි වුනා. මේ අනුව +3.5ක දැවැන්ත දල ලකුණු වේගයක් සහ ප්‍රසාද ලකුණු 2ක් සමඟින් මේ වන විට ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින්නේ ශ්‍රී ලංකාවයි.

දෙවැනි ස්ථානය අයර්ලන්තයට එරෙහිව කඩුලු 5ක පෙරළිකාර ජයක් ලැබූ ඕමානයට හිමිව තිබෙනවා. තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය ජුනි 23 වැනිදා ඕමානයට එරෙහිව බුලවායෝ හිදීම පැවැත්වීමට නියමිතයි. එහි තොරතුරු මෙන්ම ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සියලුම තතු විත්ති එසැණින් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<