පිළියන්දල ක්‍රීඩකයෝ එකට එක කරයි

21 වැනි රයිගම් - සල්පිටි කෝරල සටන 2023

250
Piliyandala Central College vs Taxila Central College Horana

21 වැනි වරටත් සංවිධානය කෙරුණු පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය අතර පැවති රයිගම් – සල්පිටි කෝරල සටනේ දී ජයග්‍රහණය කළ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය පරාජය කරමින් වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය ලබා ගැනීමට පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩකයෝ අද (02) සමත් වුනා.

මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සියලුම දෙනා දැවී ලකුණු 149ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් තක්ෂිලා විද්‍යාලයට කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 97ක් පමණයි.

එම අවස්ථාවේ දී ඇදවැටුණු වැස්ස හේතුවෙන් තරගය නතර කෙරුණ අතර එතැන් සිට තරගය නැවත ආරම්භ කිරීමට තරම් අවස්ථාවක් ඔවුන්ට ලැබුණේ නැහැ. ඒ අනුව ගණනය කෙරුණු ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව තරගයේ ජයග්‍රහණයට එම අවස්ථාව වෙද්දී තක්ෂිලා විද්‍යාලය ලකුණු 105ක් ලබා ගත යුතුව තිබුණා. එම ඉලක්කය සපුරා ගෙන නොතිබූ බැවින් ජයග්‍රහණය පිළියන්දල විද්‍යාලය සතු වුනා.

  • පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය: අශේන් රොද්‍රිගෝ (නායක), කුශ්මික ආටිගල, දිලාශ් සචින්ද, තරුෂ දිල්හාර, සෙතික දිල්මිත්, සොනත් එනුක, අදීප ප්‍රනාන්දු, නිලුශ ප්‍රනාන්දු (කඩුලු රකින්නා), අශාන් තත්සර, ගනිදු විජේකෝන්, තිනිත් සාලිංග
  • තක්ෂිලා මධ්‍ය විද්‍යාලය: නවෝද්‍ය ගිම්හාන (නායක), දේශාන් දිල්මිත්, සන්දිත් රණවීර, ශාන් දිව්‍යාංජන (කඩුලු රකින්නා), චමෝද් මිහිරාන්, ජනිත් දනංජය, චරිත් හර්ෂණ, සනීර මිහිසර, දිමන්ත දිනුජය, සන්විඳු දිසානායක, රශාන් නවාංජන

තක්ෂිලා විද්‍යාලයීය නායකයා කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව පළමුවෙන් පන්දුවට පහර දීමට ප්‍රතිවාදී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ආරාධනා කළා.

ඒ අනුව පිළියන්දල ඉනිම ආරම්භ කළේ කුශ්මික ආටිගල සහ දිලාශ් සචින්ද. ඔවුන් දෙදෙනා එක් ව ලකුණු 13ක් ලබා සිටිය දී පළමු කඩුල්ල ලෙසින් දිලාශ් සචින්ද (9) දැවී ගියා.

අනතුරුව පිටියට පිවිසි නායක අශේන් රොද්‍රිගෝ සමඟ එක් වූ කුශ්මික ආටිගල දෙවැනි කඩුල්ලට ලකුණු 48ක සබඳතාවක් එක් කළා. ඉනිමේ හොඳම කඩුලු ලකුණු සබඳතාව වූ එය බිඳී ගියේ අශේන් රොද්‍රිගෝගේ දැවී යෑමත් සමඟයි. ඔහු පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.

ඒ හා සමඟම තෙවැනි කඩුල්ල ලෙසින් තරුෂ දිල්හාර (3) දැවී ගියා. අනතුරුව එතෙක් වේලා පිටියේ රැඳී සිටිමින් පිළියන්දල ඉනිම ගොඩ නගමින් සිටි කුශ්මික ආටිගල දැවී ගියා. ඔහු පන්දු 71කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.

ඔහුගේ දැවී යෑමත් සමඟින් පිළියන්දල ඉනිමේ කඩා වැටීම ශීඝ්‍ර වූ අතර පන්දුවාර දෙකයි පන්දු 4ක් තුළ සෙතික දිල්මිත් (24) සහ අදීප ප්‍රනාන්දු (0) දැවී ගියා.

එම අවස්ථාවේ පිටියේ එක් අන්තයක් ආරක්ෂා කර ගත් සොනත් එනුක අවසන් කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා.

ඔහු පිටියේ රැඳී සිටිය දී නිලූෂ ප්‍රනාන්දු (4), අශාන් තත්සර (0) ගනිඳු විජේකෝන් (0) අඩු ලකුණුවලට දැවී ගිය අතර ඉනිම අවසන් වෙද්දී තිනිත් සාලිංග නොදැවී ලකුණක් ලබා සිටියා.

කඩුලු බිඳ දැමීමේ දී රශාන් නවාංජන ලකුණු 24කට කඩුලු 4ක් දවා ගත් අතර සනීර මිහිසර ලකුණු 26කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව නවොද්‍ය ගිම්හාන, චමෝද් මිහිරාන් සහ දිමන්ත දිනුජය කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි තක්ෂිලා විද්‍යාලයීය ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ. ලකුණු 8ක් වෙද්දී දේශාන් දිල්මිත් ලකුණු 5කට දැවී ගියා. අනතුරුව ශාන් දිව්‍යාංජන (7) සහ චමෝද් මිහිරාන් (7) අඩු ලකුණුවලට සීමා වෙමින් දැවී ගියා.

ඉනිමේ 4 වැනි කඩුල්ල ලෙසින් දැවී ගිය සන්දිත් රණවීර පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා. ඒ වෙද්දී තක්ෂිලා ඉනිම කියැවුණේ කඩුලු 4ක් දැවී ලකුණු 73ක් ලෙසයි.

අනතුරුව පන්දුවාර 2ක පන්දු 6ක් තුළ දී ජනිත් දනංජය (14) සහ සනීර මිහිසර (0) දැවී ගියා.

වර්ෂාව හේතුවෙන් තරගය කඩුලු 6ක් දැවී ලකුණු 97ක් ව තිබිය දී නතර කරන විට චරිත් හර්ෂණ පන්දු 22කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 19ක් ද සහ නායක නවෝද්‍ය ගිම්හාන පන්දු 10ක දී නොදැවී ලකුණක් ලබා ගනිමින් ද පිටියේ රැඳී සිටියා.

කඩුලු බිඳ දැමීමේ දී තිනිත් සාලින්ද ලකුණු 27කට කඩුලු 3ක් දවා ගත් අතර නායක අශේන් රොද්‍රිගෝ ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව තරුෂ දිල්හාර කඩුල්ලක් දවා ගත්තා.

  • පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය – සියලුම දෙනා දැවී 149 (43.3) කුශ්මික ආටිගල 30, අශේන් රොද්‍රිගෝ 21, සෙතික දිල්මිත් 24, සොනත් එනුක 31, සනීර මිහිසර 3/26, රශාන් නවාංජන 4/24
  • තක්ෂිලා විද්‍යාලය – කඩුලු 6ක් දැවී 97 (27.4) සන්දිත් රණවීර 30, චරිත් හර්ෂණ නොදැවී 19, තිනිත් සාලිංග 3/27, අශේන් රොද්‍රිගෝ 2/27

පිළින්දළ මධ්‍ය මහා විද්‍යාලය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 7ක ජයක්.

  • තරගයේ වීරයා – සොනත් එනුක (පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – කුෂ්මික ආටිගල (පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – රශාන් නවාංජන (තක්ෂිලා විද්‍යාලය)
  • දක්ෂතම පන්දු රකින්නා – ශාන් දිව්‍යාංජන (තක්ෂිලා විද්‍යාලය)

දිනෙන් දින උණුසුම් වන වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<