Bio Bubble හිසරදයක් ද? Kohli සහ Archer හඬ අවදි කරති

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2020

1283

අඛණ්ඩ තරග සංචාරයන්හි නිරත වෙමින්, පනවා ඇති ජෛව-ආරක්ෂණ නීතිරීතීන් සියල්ලන්ටම අනුකූලව තම දෛනික කාලසටහන හැඩගස්වා ගැනීම තරමක අභියෝගාත්මක කර්තව්‍යයක් බවත්, එවැනි ක්‍රියාදාමයක් දිගු කලක් අනුගමනය කිරීමෙන් ක්‍රීඩකයින්ගේ මනසට ද යම් අහිතකර බලපෑමක් එල්ල විය හැකි බවත් ඉන්දීය නායක Virat Kohli පසුගියදා පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සඳහන් කර තිබුනි. 

Bio Bubble වැනි සංකල්ප ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමෙන් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්වය යම් හිතකර මට්ටමකින් පවත්වා ගැනීමට හැකි වී ඇති නමුත් දීර්ඝ කාලීනව එකම රාමුවකට සිරවී කටයතු කිරීමට සිදුවීම බොහෝ ක්‍රීඩකයින් හට ඍණාත්මක ලෙස බලපෑ හැකි බව Kohli මෙහිදී අවධාරණය කර සිටියේය. 

IPL තරගාවලිය නිමාවට පත්කිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා පිටත්ව යෑමට නියමිත ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩා තරු රැසකට නැවත වතාවක් එළඹෙන පෙබරවාරි මාසය වන තෙක් නව ජෛව-ආරක්ෂණ නීතිරීති පද්ධතියකට අනුව හැඩ ගැසීමට සිදුවීම ඔවුන් ඉදිරියේ ඇති ප්‍රධානතම අභියෝගය වනු ඇති බව ඇතැම් ක්‍රිකට් විචාරකයින් පෙන්වා දී තිබේ. 

RCB TV වැඩසටහන සඳහා එක්වෙමින් නායක Virat Kohli පවසා සිටියේ Bio Bubble සංකල්පය තරමක් ඒකාකාරී විය හැකි නිසාවෙන් බලධාරීන්, ක්‍රීඩකයින්ගේ මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන් පෙරට වඩා වැඩි අවධානයක් යොමුකළ යුතු බවයි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

“ගොඩක් දුරට Bio Bubble එකක ඉන්නවා කියන අත්දැකීම ඒකාකාරී වෙන්න පුළුවන්. මොකද ක්‍රීඩකයින් විදිහට අපිට ලොකු තෝරාගැනීම් ගොඩක් නැහැ. නමුත් RCB සංචිතයත් එක්ක ගත කරන මේ කාලසීමාව ඇත්තටම විනෝදජනකයි. අපි එක පවුලක් විදිහට කටයුතු කරන නිසා හැම වෙලාවෙම ලොකු බැඳීමක් ක්‍රීඩකයන් අතරේ තියෙනවා. නමුත් අපිට වුනත් සමහර වෙලාවලට දැනෙනවා මේ ක්‍රමයේ යම් ඒකාකාරී බවක්.” 

“ඉදිරියේ දී තරගාවලි සැලසුම් කරන කොට මේ ගැන විශේෂ අවධානයක් යොමු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම තරගාවලියක් පැවැත්වෙන කාලසීමාව සම්බන්ධයෙන් සහ ඒ කාලපරිච්ඡේදය තුළදී ක්‍රීඩකයින්ගේ මානසික මට්ටම ඉහළ තැනක රඳවා ගන්නේ කොහොමද කියන එක ගැන. දවස් 80ක් විතර එකම සීමාවක් ඇතුළේ ඉඳන් කටයුතු කරනවා කියන එකේ අපහසුව ඔයාලට තේරෙනවා ඇතිනේ? ක්‍රීඩකයින්ට තමන්ගේ පවුලේ අයත් එක්ක යම් වෙලාවක් ගත කරන්න හරි ඔවුන් කැමති ක්‍රියාකාරකම්වල යෙදෙන්න හරි කාලයක් වෙන්කර දෙනවා නම් ගොඩක් වටිනවා කියලයි මම හිතන්නේ.” 

Kohliට අමතරව ප්‍රබල එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක Jofra Archer ද මේ සම්බන්ධයෙන් ඔහුගේ පෞද්ගලික මතය ඉදිරිපත් කර සිටියේ තරග ආකෘතීන් ත්‍රිත්වය සඳහාම මුහුණදෙන ක්‍රීඩකයෙකු වශයෙන් ඔහුට ඉතාමත් අසීරු කාලසීමාවක් පසුකිරීමට සිදුව ඇති බවයි. 

“මම හිතන්නේ අපිට පවුලේ අයත් එක්ක ගත කරන්න තියෙන කාලසීමාව එන්න එන්නම කෙටි වෙනවා. මේක දැන් සාමාන්‍ය දෙයක් වේගෙන එන්නේ. මම දායකත්වය ලබාදුන්න පහුගිය තරගාවලි කිහිපය ගත්තොත් ටෙස්ට් තරගවලට වඩා වැඩි අවධානයක් සීමිත පන්දුවාර තරගවලට ලබාදෙන්න මට සිදුවුනා. පැයට සැතපුම් 90කට වඩා වේගයෙන් දවසක්ම පන්දු යවනවා කියන්නේ ඇත්තටම කරන්න අමාරු දෙයක්. මම නම් අද වෙනකන් දැකලා නැහැ එහෙම කරන්න පුළුවන් කිසිම පන්දු යවන්නෙක්.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<