රයිගම් – සල්පිටි කෝරල සටනේ ජය තක්ෂිලා විද්‍යාලයට

21වැනි රයිගම් - සල්පිටි කෝරල සටන 2023

239

පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය සහ හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වුණු 21 වැනි රයිගම් – සල්පිටි කෝරල සටන අද (1) මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී අවසන් වුනේ තක්ෂිලා විද්‍යාලය කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගනිමින්.

මේ මහා තරග ඉතිහාසය තුල තක්ෂිලා මධ්‍ය විද්‍යාලය දෙදින මහා තරගයක් ජය ගත් පළමු අවස්ථාව මෙයයි.

කාසියේ වාසිය දිනා ගත් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ඔවුන් සියල්ලන්ම දැවී ලකුණු 199ක් ලබා ගත්තා. සේතික දිල්මිත් ලකුණු 68ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වුනා. පන්දු යැවීමේ දී දිමත් දිනුජය සහ සන්විඳු දිසානායක කඩුලු 3 බැගින් දවා ගත්තා.

චරිත් හර්ෂණ හැරෙන්නට තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ එකඳු පිතිකරුවෙක් හට ලකුණු 30 සීමාව අභිබවා යාමට නොහැකි වුනේ අශාන් තත්සර සහ තිනෙත් සාලිංග ක්‍රියාත්මක කළ දක්ෂ පන්දු යැවීම නිසයි. අවසානයේ දී තක්ෂිලා පළමු ඉනිම ලකුණු 107කට සීමා වුනේ පළමු ඉනිමේ වැඩි ගෞරවය පිළියන්දල මැදි විදුහලට හිමිකර දෙමින්.

>>Photos – Piliyandala Central College vs Taxila Central College Horana | 21st Battle of Salpiti Raigam Korala | Day 1<<

ලකුණු 92ක පළමු ඉනිමේ වාසියක් සහිතව දෙවැනි ඉනිම දියත් කළ පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 95ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළේ තක්ෂිලා විද්‍යාලයට ලකුණු 188ක තීරණාත්මක ඉලක්කයක් හිමිකර දෙමින්. පිළියන්දල මධ්‍ය මහා විද්‍යාල දෙවැනි ඉනිම වෙනුවෙන් නායක අශේන් රොද්‍රිගෝ ලකුණු 40ක් ලබාගෙන දස්කම් දැක්වූවා.

ලකුණු 188 ඉලක්කය හඹා යාම වෙනුවෙන් තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාල ආරම්භක පිතිකරුවන් ලෙස පළමු ඉනිමේ දී අංක 3 පිතිකරු ලෙස ක්‍රීඩා කළ දේශාන් දිල්මිත් සහ සන්දිත් රණවීර පිටියට අවතීර්ණ වුනු අතර එහි දී ඔවුන් දෙදෙනා පළමු ඉනිමට සාපේක්ෂව හොඳ ස්ථාවර ආරම්භයක් සිය කණ්ඩායමට ලබා දුන්නා.

අවසානයේ දී දේශාන් දිල්මිත් පන්දු 92ක දී ලකුණු 81 ලබා ගනිමින් දක්ෂ පිතිකරණයක නිරත වුනේ පිළියන්දල මැදි විදුහලට වැඩි අභියෝගයක් ලබා දෙමින්. 4 පහර 3ක් සහ 6 පහර 2 කින් වර්ණවත් වුනු දිල්මිත්ගේ ඉනිම 7 වැනි කඩුල්ල ලෙස අවසන් වුනා. ඒ වන විටත් තක්ෂිලා කණ්ඩායම ලකුණු 175ක් ලබාගෙන ඉතාමත් ප්‍රබල මට්ටමක පසුවුනත්, ලකුණු 180ක් වන විට තක්ෂිලා දෙවැනි ඉනිමේ කඩුලු 9ක් දවා ගන්නට තිනෙත් සාලිංග ඇතුළු පිළියන්දල මැදි විදුහල් පන්දු යවන්නන් සමත් වුනා.

අවසානයේ දී එක් කඩුල්ලක් රැකගනිමින් ලකුණු 8ක් ලබා ගැනීම තක්ෂිලා විද්‍යාලයේ ඉලක්කය වුනු අතර පිළියන්දල මැදි විදුහල් ක්‍රීඩකයින් ද තරගයේ අවසන් පන්දුව දක්වා සිය ප්‍රතිවාදීන්ට ප්‍රබල අභියෝගයක් ලබා දුන්නා.

  • පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය – 199 (76.3): සේතික දිල්මිත් 68, සොනත් එනුක 32, දිමත් දිනුජය 3/35, සන්විඳු දිසානායක 3/67 & 95/4d (4): අශේන් රොද්‍රිගෝ 40, කුශ්මික ආටිගල 26
  • හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය – 107 (45.4): චරිත් හර්ෂණ 30, අශාන් තත්සර 4/11, තිනෙත් සාලිංග 3/45 & 188/9 (44.5): දේශාන් දිල්මිත් 81, නවෝද්‍ය ගිම්හාන 28, තිනෙත් සාලිංග 5/79, අශාන් තත්සර 3/40.

තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයට කඩුල්ලක ජයක්

දෙවිදුහල් අතර පැවැත්වෙන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය හෙට (2) උදෑසන 9.30 සිට මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දීම පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<