රන් සිංහ එක්දින ගැටුමේ ජය මාතර රාහුල විද්‍යාලයට

රන් සිංහ එක්දින ක්‍රිකට් තරගය 2023

254
One day encounter of battle of the golden lions

මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර පැවැත්වුණු රන් සිංහ සටනේ එක්දින තරගයෙන් ලකුණු 30ක ජයග්‍රහණයක් අත්කර ගැනීමට මාතර රාහුල විද්‍යාලය අද (02) සමත් වුනා.

අද උදෑසන මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව රාහුල විද්‍යාලය විසින් පළමුව පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඔවුන්ට මුහුණ දීමට හැකි වුනේ පන්දු වාර 44කට පමණයි.

රාහුල විද්‍යාලයේ සියලු පිතිකරුවන් ලකුණු 147ක් තුල දී දවා ගැනීමට ධර්මපාල විද්‍යාලයීය පන්දු යවන්නන් විසින් සමත් වූ අතර එහි දී චිතුන් බැද්දගේ සහ නුලාන් සෙනෙවිරත්න විසින් රාහුල ඉනිමේ කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

මෙහි දී රාහුල විද්‍යාලය වෙනුවෙන් පෙර දිනයේ ද නායකත්වයේ ඉනිමක් දියත් කළ තත්සර ඩිල්ශාන් අද දිනයේ ද ඉනිමේ ඉහළම ලකුණු ලාභියා බවට පත් වෙමින් ලකුණු 30ක් වාර්තා කළ අතර ඔහුට අමතරව මිනුග ලක්විඳු විසින් ලකුණු 21ක් වාර්තා කිරීමට සමත් වුනා.

ඒ අනුව පහසු ජයග්‍රහණයක් අත්කර ගැනීමේ බලාපොරොත්තුවෙන් යුතුව ධර්මපාල පිතිකරුවන් විසින් උයන්වත්ත ක්‍රීඩාංගණයට පිවිසුනත්, ඊයේ දිනයේ දෙපිල අතර පැවැත්වුණු මහා ක්‍රිකට් තරගයේ ස්වභාවය නැවත සිහියට කැඳවමින් රාහුල පන්දු යවන්නන් විසින් තරගයේ ග්‍රහණය සියතට ගැනීමට සමත් වුනා.

ධර්මපාල ඉනිමේ 41 වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුවෙන් ඔවුන්ගේ ඉනිම නිමා වූ අතර, ඒ වන විට ධර්මපාල ලකුණු පුවරුවට එක් වී තිබුණේ ලකුණු 117ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් යුජිත සඳරුවන් ලකුණු 23ක් රැස් කර ගැනීමට සමත් වූ අතර, රාහුල විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙ දී සදෙව් ගමගේ, ගෙවිඳුම් මනම්පේරී, නදිල් සන්දේශ් සහ සසිනු බත්තගේ විසින් කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව මෙවර රන් සිංහ ගැටුමේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය ලකුණු 30කින් ජයග්‍රහණය කිරීමට මාතර රාහුල විද්‍යාලය සමත් වුනා.

  • රාහුල විද්‍යාලය 147/10 (44) – තත්සර ඩිල්ශාන් 30, මිනුග ලක්විඳු 21, චිතුන් බැද්දගේ 2/26 , නුලාන් සෙනෙවිරත්න 2/41
  • ධර්මරාජ විද්‍යාලය 117/10 (40.3) – යුජිත සඳරුවන් 23, සසිනු බත්තගේ 2/19, ගෙවිඳුම් මනම්පේරී 2/15

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<