සුනිල සංග්‍රාමය තියුණු වෙයි

244

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග පිටිය කාර්ය බහුල කරමින් පැවති ප්‍රධාන තරග කිහිපයකට අමතර ව තවත් තරග කිහිපයක් ම දිවයිනේ විවිධ ප්‍රදේශවල දී අදත් (01) පැවතියා. 

ඒ අතරින් ඌව සටන සහ සුමිතුරන්ගේ සටන ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද සහ ධර්මාශෝක අතර පැවැත්වෙන සුනිල සංග්‍රාමය පළමු දිනයට අවසන් වුනා.

ශ්‍රී දේවානන්ද සහ ධර්මාශෝක – 54 වැනි සුනිල සංග්‍රාමය

අම්බලන්ගොඩ ශ්‍රී දේවාන්නද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර අම්බලන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ධර්මාශෝක නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී දේවානන්ද විද්‍යාලය සතු වුනා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට සිතූ සේ ලකුණු පුවරුව ආක්‍රමණය කිරීමට ධර්මාශෝක ක්‍රීඩකයෝ ඉඩ දුන්නේ නැහැ. ඔවුන්ගේ කඩුලු ප්‍රමාණයෙන් හරි අඩක් ලකුණු 67ක් වෙද්දී නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට ධර්මාශෝක පන්දු යවන්නෝ සමත් වුනා.

ඒ අනුව ෂෙහාන් රශ්මික (0), මයුර මල්ෂාන් (19), සිතුම් විහඟ (22), චමෝද් චන්දූප (5) සහ මිතිල ප්‍රනාන්දු (10) දිවා විවේකය ගනු ලැබුවේ තම ඉනිම් අවසන් කර ගනිමින්.

දිවා විවේකයෙන් පසුව වනිත් ද සිල්වා (2) සහ නායක කවීෂ කල්පන එක් ව 6 වැනි කඩුල්ලට දැවැන්ත ප්‍රහාරයකට එළඹුණ ද, එය ලකුණු 24කින් නිමා කරමින් නැවත තරගයේ පාලනය සියතට ගැනීමට ධර්මාශෝක ක්‍රීඩකයෝ සමත් වුනා.

ඒ සමඟින් තවත් ලකුණු 23ක් ශ්‍රී දේවානන්ද ලකුණු පුවරුවට එක් වෙද්දී ප්‍රතිවාදීන්ට අවශ්‍ය ම කඩුල්ලක් සේ සැලකුණ නායක කවීෂ කල්පනගේ ඉනිම ද අවසන් වුනා. ඔහු ධර්මාශෝක විද්‍යාලයීය නායකයාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී යද්දී පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ලබා සිටියා.

අනතුරුව ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ඉනිමේ හොඳම කඩුලු සබඳතාව එක් කිරීමට විහඟ මලිත් සහ කවීශ් හංසක සමත් වුනා. ඔවුන් දෙදෙනා එක්ව 8 වැනි කඩුල්ලට ලකුණු 69ක සබඳතාවක් එක් කළා. කවිශ් හංසක පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටිය දී දැවී යමින් එම සබඳතාව බිඳී ගියා.

අත්‍යවශ්‍ය අවස්ථාවක ලකුණු අතරට පිවිසෙමින් ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කිරීමට විහඟ මලිත් සමත් වුනා. ඔහු පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තා.

ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ඉනිම ලකුණු 194කට සීමා වෙද්දී, දනිඳු ඉනෝෂන නොදැවී ලකුණු 2ක් සහ රවිඳු ද සිල්වා ලකුණු 6ක් ලබා සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී ආරම්භක වේගපන්දු යවන පැතුම් මලිත ලකුණු 41කට කඩුලු 3ක් දවා ගනිද්දී නායක සෙනිත හැළඹගේ ලකුණු 51කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව චානක ජයාංග කඩුලු 2ක් දවා ගනිද්දී ඉෂාන් අනුරාධ සහ  ජිතිර සංසික කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ධර්මාශෝක විද්‍යාලයේ ආරම්භක කඩුලු ද්විත්වය ලකුණු 11ක් වෙද්දී දවා ගැනීමට දඟ පන්දු යවන මයුර මල්ශාන් සමත් වූවා. ආකාශ් මෙන්ඩිස් (9) සහ අමිල් අගස්ති (4) ඔහුට ගොදුරු වෙමින් දැවී ගියා.

තරගය අයහපත් ආලෝක තත්ත්වය මත නතර කරන විට ධර්මාශෝක විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 38ක් ලබා සිටියා. ඒ වෙද්දී සෙනුර සඳයුරු ලකුණු 19ක් සහ මානස ද සිල්වා ලකුණු 10ක් ලබා ගනිමින් නොදැවී පිටියේ රැදී සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී මයුර මල්ශාන් ලකුණු 11කට කඩුලු 2ක් දවා ගත්තා.

  • ශ්‍රී දේවානන්ද විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 194 (57.1) මයුර මල්ෂාන් 19, සිතුම් විහඟ 22, කවීෂ කල්පන 33, විහඟ මලිත් 54, කවීශ් හංසක 27, පැතුම් මලිත් 3/41, චානක ජනාංග 2/31, සෙනිත හැළඹගේ 3/51
  • ධර්මාශෝක විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 38 (8) සෙනුර සඳයුරු නොදැවී 19, මයුර මල්ෂාන් 2/11

හෙට (02) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.

ශ්‍රී ඤාණිස්සර සහ රාජපක්ෂ – 4 වැනි සුමිතුරන්ගේ සටන

අලුත්ගම ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලය සහ අහුංගල්ල රාජපක්ෂ විද්‍යාලය අතර අලුත්ගම දී පැවති මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවා.

කාසියේ වාසිය දිනා ගත් රාජපක්ෂ ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ඤාණිස්සර ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 145ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් රාජපක්ෂ විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 265ක් ලබා ගත්තා.

පෙර දිනයේ දී ඔවුන් කඩුලු 2ක් දැවී ලකුණු 112ක් ලබා සිටි අතර අද දිනය ආරම්භයේ ලකුණු 7ක් පමණක් ඉනිමට එක් වෙද්දී තෙවැනි කඩුල්ල ද අහිමි වූවා. නමුත් එතැන් සිට සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65ක සබඳතාවක් එක් කිරීමට සිතිජ දුල්ශාන් සහ සප්න චමෝද්‍ය සමත් වුනා.

සප්න චමෝද්‍ය පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 56ක් ලබා ගනිද්දී, සිතිජ දුල්ශාන් පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා.

කඩුලු බිඳ දැමීමේ දී තිසර කාවින්ද ලකුණු 57කට කඩුලු 5ක් දවා ගත්තා.

ලකුණු 120ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ ශ්‍රී ඤාණිස්සර විද්‍යාලයට වැඩි වේලාවක් ක්‍රීඩා කිරීමට ලැබුණේ නැහැ. වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 99ක් ලබා සිටියා.

  • ශ්‍රී ඤාණිස්සර විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 145 (56.2) තරුෂ අංජන 29, මෙනුජ සන්තුස 28, සහන් නදිමාල් 5/28, විහඟ ඉඳුවර 2/19
  • රාජපක්ෂ විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 265 (63.3) හිම්සර සාවින්ද 34, විහඟ ඉඳුවර 55, සිතිජ දුල්ශාන් 36, සප්න චමෝද්‍ය 56, සචින් මධුරංග 2/59, තිසර කාවින්ද 5/57
  • ශ්‍රී ඤාණිස්සර විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 99 (25) මනුල අයන්ත 31, මලිඳු මලීෂ නොදැවී 27, සහන් නිද්මාල් 2/25

තරගයේ විසඳුමක් නෑ.

ඌව සහ ධර්මදූත – 74 වැනි ඌව සටන

බදුල්ල ඌව විද්‍යාලය සහ ධර්මදූත විද්‍යාලය අතර බදුල්ලේ දී පැවති මෙම තරගය අද අතරමග දී නතර කර දැමුණා.

ඒ වාර්ෂික මහා ක්‍රිකට් තරගයට සමගාමීව පැවති රථ පෙළපාලියේ දී පාසල් සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වීම හේතුවෙන් බදුල්ල අධ්‍යාපනය කලාපය මගින් කළ දැන්වීමක් අනුවයි. මෙම සිදුවීම වෙද්දී තරගයේ පන්දුවාර 48ක් අද ක්‍රියාත්මක වුනා.

කාසියේ වාසිය දිනා ගත් ඌව විද්‍යාලය පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් තම පළමු ඉනිමට ලකුණු 142ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ධර්මදූත විද්‍යාලය සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 108ක් පමණයි.

ලකුණු 34ක් ඉදිරියෙන් සිටිමින් පෙර දිනයේ ම පිටියට පිවිසි ඌව විද්‍යාලය තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවි ලකුණු 25ක් ලබා සිටියා.

එතැන් සිට ආරම්භ වූ තරගයේ දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වූයේ නායක කුශාන් හර්ෂණ. ඔහු පන්දු 50කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 39ක් ලබා සිටියා.

පන්දු යැවීමේ දී දිනෙත් විජේසූරිය ලකුණු 41කට කඩුලු 3ක් දවා ගත් අතර අයේෂ් ගජනායක ලකුණු 50කට කඩුලු 2ක් දවා ගත්තා.

තරගය නතර කරන විට ඌව විද්‍යාලය තම දෙවැනි ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 149ක් ලබා සිටියා.

  • ඌව විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 142 (39.4) කුශාන් හර්ෂණ 25, රෝචන හිරුෂික 26, දිමුත් සාලින්ද 25, අයේෂ් ගජනායක 2/28, විනුත් තිසරක 3/18, දිනෙත් විජේසූරිය 2/32, පසන් රත්නායක 2/29
  • ධර්මදූත විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 108 (38.2) දිනෙත් හිරුෂාන් 39, අයේෂ් ගජනායක 14, රෝචන හිරුෂික 2/30, කුශාන් හර්ෂණ 3/30, මොහොමඩ් රිෆ්කාන් 3/04
  • ඌව විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 149 (61) දිමුත් සාලින්ද 27, භාෂිත ෆයිසාල් 20, කුශාන් හර්ෂණ නොදැවී 39, අකලංක දිනුජය 24, අයේෂ් ගජනායක 2/50, දිනෙත් විජේසූරිය 3/41

තරගයේ විසඳුමක් නෑ.

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟ රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<