12 වැනි රන් සිංහ සටන ජය පරාජයෙන් තොරව අවසන්

12 වැනි රන් සිංහ සටන

164

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරගය වන රන් සිංහ සටන ඊයේ (31) සහ අද (01) මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

ඊයේ දිනයේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාහුල විද්‍යාල නායක තත්සර ඩිල්ශාන් විසින් පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා.

ඒ අනුව රාහුල ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලෙස දිල්මිත් ලක්තරණ සහ රිතික හිමාශ් පිටියට පිවිසි අතර ඔවුන්ගේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 9කට සීමා කරමින් රිතිකව දවා ගැනීමට ධර්මපාල විදුහලේ චිතුන් බැද්දගේ විසින් සමත් වුනා.

නමුත් පසුව පිටියට පිවිසි සසිනු බත්තගේ විසින් දිල්මිත් සමග පිටියේ ස්ථාවර වීමට සමත් වුනා.

නමුත් ඔවුන් කිසිවකු හෝ තරගයේ ජයග්‍රහණයක් අපේක්ෂාවෙන් පිතිකරණයේ යෙදෙන බවක් දක්නට නොලැබුණු අතර ඉතාම සෙමෙන් ලකුණු රැස් කරනා ආකාරය පෙනී ගියා.

ඉනිමේ මුලු ලකුණු ප්‍රමාණය 48ක් වන විට ලකුණු 27ක් ලබා සිටි දිල්මිත් ක්‍රීඩාගාරයට හරවා යැවීමට රුක්ශාන් දේවින්ද සමත් වූ අතර ඉන්පසුවත් පිටියට පැමිණි පිතිකරුවන් සියල්ලම පාහේ සෙමෙන් සිය ඉනිම් ගොඩ නැංවීමට උත්සාහ කළ නමුත් කිසිවකු හෝ අර්ධ ශතකයක සීමාවට පැමිණීමට නම් සමත් වුනේ නැහැ.

පන්දුවාර 71යි පන්දු 4ක් ක්‍රීඩා කළ රාහුල ඉනිමේ අවසන් කඩුල්ල දැවී යන විට ඔවුන් රැස් කර ගැනීමට සමත් වී තිබුණේ ලකුණු 156ක් පමණයි. ඒ වෙනුවෙන් සසිනු බත්තගේ විසින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස පන්දු 105කින් ලකුණු 47ක් ලබා ගනිද්දී, රිසිනු ගීනුක විසින් පන්දු 112ක් වැය කරමින් ලකුණු 37ක් එකතු කර ගෙන තිබුණා.

ඉනිමේ අවසන් කඩුලු දෙකම පිට පිට පන්දු දෙකකින් දවා ගැනීමට රුක්ශාන් දේවින්ද විසින් සමත් වූ අතර ඉනිම අවසානයේ ඔහුගේ පන්දු යැවීම දිස් වුනේ ලකුණු 39කට කඩුලු 6ක් ලෙසයි.

ඔහුට අමතරව ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් චිතුන් බැද්දගේ විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව ඊයේ දිනයේ සවස් භාගයේ දී සිය පළමු ඉනිම ක්‍රීඩා කිරීමට ධර්මපාල විදුහල නියෝජනය කරමින් පසිඳු චාමිකර සහ රුක්ශාන් දේවින්ද පිටියට පිවිසුණු නමුත් ඔවුන් ඊයේ දිනයේ දී මුහුණ දීමට සමත් වුනේ පන්දු වාර තුනකට පමණයි. දිනය නිමා වන විට ධර්මපාල පිතිකරුවන් කිසිවකු නොදැවී ලකුණු 5ක් රැස් කර ගෙන සිටියා.

අද දිනය ආරම්භයේ දීත් සිය ආරම්භක කඩුල්ල රාහුල ක්‍රීඩකයින් වෙත දන් නොදී හොඳින් පිතිකරණයේ යෙදෙමින් ධර්මපාල ලකුණු පුවරුව ලකුණු 43ක් දක්වා ඉහළ දැමීමට සමත් වූ පසු රුක්ශාන් දේවින්ද ලකුණු 17කට දවා ගැනීමට සදෙව් ගමගේ සමත් වූ අතර රුක්ශාන්ගේ දැවී යාමෙන් පසුව ධර්මපාල ඉනිම කෙමෙන් බිඳ වැටීමට පටන් ගත්තා.

ධර්මපාල ඉනිමේ 55 වැනි පන්දු වාරයේ දෙවන පන්දුවට නුලාන් සෙනෙවිරත්නව දවා ගැනීමට සසිනු බත්තගේ විසින් සමත් වීමත් සමඟ ධර්මපාල පළමු ඉනිම ලකුණු 141කට සීමා කිරීමට රාහුල විද්‍යාලය සමත් වුනේ ධර්මපාල විදුහලට වඩා පළමු ඉනිමේ ලකුණු 15ක ඉදිරියක් ලබා ගනිමිනුයි.

මෙහි දී ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් ඉනිමේ ඉහළම ලකුණු ලාභියා බවට පත් වීමට ලකුණු 39ක් ලබා ගත් පසිඳු චාමිකර සමත් වූ අතර, ඊට අමතරව නායක ප්‍රවීන් කුමාරප්පෙරුම විසින් ලකුණු 38ක් ලබා ගැනීමට සමත් වුනා.

රාහුල විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමේ දී සදෙව් ගමගේ විසින් කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වුනා. ඊට අමතරව රාහුල පළමු ඉනිමේ පිත්තෙන්ද  දස්කම් දැක්වූ රිසිනු ගීනුක සහ සසිනු බත්තගේ විසින් පිළිවෙළින් කඩුලු 3ක් සහ 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම සඳහා රාහුල ආරම්භක පිතිකරුවන් වන දිල්මිත් ලක්තරණ සහ සසිනු බත්තගේ නැවතත් පිටියට පිවිසුණු නමුත් ඔවුන් දෙදෙනාම ලකුණු 3 බැගින් ලබා සිටිය දී දැවී ගියා.

රාහුල ඉනිමේ මුල් කඩුලු 3ම ලකුණු 17ක් තුල දී දැවී ගිය පසු පිටියේ එක් වූ රිසිනු ගීනුක සහ නායක තත්සර ඩිල්ශාන් විසින් වේගවත් ලකුණු 79ක සබඳතාවක් පිහිටවූ අතර, තත්සර විසින් පන්දු 45කින් ලකුණු 61ක් ලබා ගනිමින් ප්‍රවේගකාරී පිතිහරඹයක නියැලුණේ ඇල්මැරී තිබුණු තරගයට ජීවයක් ලබා දෙමිනුයි. තත්සර විසින් සිය ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර දෙකක් එක් කර ගැනීමට සමත් වුනා.

පන්දුවාර 30ක් ක්‍රීඩා කිරීමෙන් පසු මාතර රාහුල විද්‍යාලය කඩුලු 5කට ලකුණු 121 ක් ලබා සිටිය දී සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළා. එමෙන්ම මෙහි දී තත්සරට අමතරව රිසිනු ගීනුක විසින් නොදැවී ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වුනා.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමේ දී නැවතත් සාර්ථක වූ රුක්ශාන් දේවින්ද විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව දිනය නිමා වීමට සීමිත කාලයක් ඉතිරිව තිබිය දී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 137ක් ලබා ගැනීමේ ඉලක්කයක් ධර්මපාල විද්‍යාලයට හිමි වුනා.

නමුත් එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසුණු ධර්මපාල විද්‍යාලයට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වුනේ පන්දු වාර 4කට පමණයි.

නමුත් ඒ වන විට ඉතා හොඳින් තරගයට අවතීර්ණ වීමට සමත් වූ රාහුල ක්‍රීඩක නදිල් සන්දේශ් විසින් ධර්මපාල ඉනිමේ කඩුලු 3ක්ම ඩැහැ ගැනීමට සමත් වී තිබුණා.

කෙසේ වෙතත් තරගයේ අවසන් සහ දෙවැනි දිනය අවසන් වන විට ධර්මපාල දෙවැනි ඉනිම කඩුලු 3කට ලකුණු 14ක් ලෙස දිස් වූ අතර තරගය ජයග්‍රහණය කිරීමට නම් ඔවුන් තවත් ලකුණු 123ක් ලබා ගත යුතුව තිබුණා.

එමෙන්ම රාහුල විද්‍යාලයට ද ජයග්‍රහණය වෙනුවෙන් තවත් කඩුලු 7ක් දවා ගැනීමට ඉතිරිව තිබුණා.

ඒ අනුව 12 වැනි වරට පැවැත්වුණු රන් සිංහ සටන ජය පරාජයෙන් තොරව නිමාව දුටුවා.

  • රාහුල විද්‍යාලය පළමු ඉනිම 156/10 (71.4): සසිනු බත්තගේ 46, රිසිනු ගීනුක 37, රුක්ශාන් දේවින්ද 6/39, චිතුන් බැද්දගේ 2/31
  • ධර්මපාල විද්‍යාලය පළමු ඉනිම 141/10 (54.2): පසිඳු චාමිකර 39, ප්‍රවීන් කුමාරපෙරුම 38, සදෙව් ගමගේ 5/39, රිසිනු ගීනුක 3/35
  • රාහුල විද්‍යාලය දෙවැනි ඉනිම 121/5 (30): තත්සර ඩිල්ශාන් 61, රිසිනු ගීනුක 28, රුක්ශාන් දේවින්ද 2/35
  • ධර්මපාල විද්‍යාලය දෙවැනි ඉනිම 14/3 (4): කවිඳු විජේසිංහ 6, දිහිඳු හේරත් 8, නදිල් සන්දේශ් 3/7

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<