හරිත සටනේ ජය කොතලාවල ක්‍රීඩකයින්ට

132

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරගවලට සමගාමීව පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගවල උණුසුම ද මේ දිනවල වඩාත් ආකර්ශනීය වී තිබෙනවා. ඒ අතර කුරුණෑගල දී පැවති 12 වැනි හරිත සටනේ ජයග්‍රහණය සර් ජෝන් කොතලාවල විද්‍යාලය සතු වුනා.

සර් ජෝන් කොතලාවල – වයඹ රාජකීය 12 වැනි කොළ සටන

කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලය සහ වයඹ රාජකීය විද්‍යාලය අතර කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවති 12 වැනි හරිත සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් පැරබෝලා න්‍යාය මත ලකුණු 64ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සර් ජෝන් කොතලාවල විද්‍යාලය සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් සර් ජෝන් කොතලාවල ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 187ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් වයඹ රාජකීය විද්‍යාලයට ලබා ගත හැකි වූයේ කඩුලු 9ක් දැවී ලකුණු 118ක් පමණයි. ඒ වෙද්දී පැවති වර්ෂාව හේතුවෙන් තරගය නතර කෙරුණ අතර විසඳුම පැරබෝලා ක්‍රමය අනුව ගණනය කෙරුණි.

සර් ජෝන් කොතලාවල විද්‍යාලයීය ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු චමිඳු අවිශ්ක පන්දු 102කට මුහුණ දෙමින් ලකුණු 64ක් ලබා ගත්තා. එය තරගයේ වාර්තා වූ එක ම අර්ධ ශතකය වුනා.

චමිඳු සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ගිම්හාන් අලහකෝන් (22) සමඟ එක් වෙමින් ලකුණු 47ක සබඳතාවක් එක් කිරීමට ද සමත් වුනා.

කඩුලු ලබා ගැනීමේ දී උපාධි ඉඳුසර සහ තිමිර බාලසූරිය කඩුලු 2 බැගින් දවා ගත්තා.

හඹා යන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පසිඳු පියුශාන්. ඔහු පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ගිම්හාන් අලහකෝන් ලකුණු 14කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූවා.

  • සර් ජෝන් කොතලාවල විද්‍යාලය – කඩුලු 9ක් දැවී 187 (50) චමිඳු අවිශ්ක 64, දුශාන් හංසික 20, ගිම්හාන් අලහකෝන් 22, කසුන් මධුශංක 27, උපාධි ඉඳුසර 2/31, තිමිර බාලසූරිය 2/31
  • වයඹ රාජකීය විද්‍යාලය – කඩුලු 9ක් දැවී 118 (46) සුබ්‍රමනියන් ප්‍රදීපන් 19, පසිඳු පියුශාන් 31, ගිම්හාන් අලහකෝන් 4/14

සර් ජෝන් කොතලාවල විද්‍යාලයට පැරබෝලා ගණනය අනුව ලකුණු 64ක ජයක්.

රේවත සහ සිද්ධාර්ථ – 34 වැනි විරු සටන

බලපිටිය රේවත විද්‍යාලය සහ සිද්ධාර්ථ විද්‍යාලය අතර පැවති විරු සටන එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයේ දී රේවත විද්‍යාලය කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් හිමි කර ගන්නවා. දෙදින වාර්ෂික ක්‍රිකට් තරගයේ දී ද ජයග්‍රහණය ලබා ගත්තේ රේවත විද්‍යාලයයි.

සිද්ධාර්ථ විද්‍යාලයීය පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් රේවත නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සත්කාරක සිද්ධාර්ථ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 111ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙසින් රේවත ක්‍රීඩකයෝ එම ඉලක්කය 15 වැනි පන්දුවාරයේ දී සපුරා ගත්තේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමින්.

සිද්ධාර්ථ විද්‍යාලය වෙනුවෙන් කවීෂ් ද ආබෲ පන්දු 104කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 30ක් ලබා ගනිද්දී, රේවත විද්‍යාලයීය නායක කමේෂ් චතුරංග ප්‍රතිවාදී කඩුලු 3ක් ලකුණු 29කට දවා ගන්නවා.

පිළිතුරු ඉනිමේ දී නැවත ක්‍රියාත්මක වූ නායක කමේෂ් චතුරංග පන්දු 19කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 42ක් ලබා ගන්නවා.

  • සිද්ධාර්ථ විද්‍යාලය – සියලුම දෙනා දැවී 111 (44.1) කවීෂ් ද ආබෲ 30, කවිශ්ක දුලාංජන 17, සෙතික පෙරේරා 2/14, කමේෂ් චතුරංග 3/29, දිනුර නෙත්මිණ 2/16
  • රේවත විද්‍යාලය – කඩුලු 2ක් දැවී 114 (14.2) පූර්ණ මෙන්ඩිස් 22, හසිඳු ප්‍රවීන් 33, කමේෂ් චතුරංග නොදැවී 42

රේවත විද්‍යාලයට කඩුලු 8ක ජයක්.

පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරගවල උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<