පැතුම්ට එක්දින තරගාවලිය අහිමියි; ශෙවෝන් එක්දින සංචිතයට

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2024

554

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක හට සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා. 

පැතුම් උණ රෝගී තත්වයක් නිසා රෝහල් ගත කිරීමට කටයුතු කර තිබෙන අතර ඔහුට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට සැක කරන බව ද වාර්තා වෙනවා.  

එම නිසා ඔහු හෙට (06) ආරම්භ වන එක්දින තරගාවලියෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙන අතර ඔහුගේ ස්ථානය සඳහා මෑත කාලයේ කැපී පෙනෙන දස්කම් දැක්වූ වමත් ආරම්භක පිතිකරු ශෙවෝන් ඩැනියල් කැඳවා තිබෙනවා. 

ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා යොවුන් ක්‍රීඩක ශෙවෝන් ඩැනියල් නිල වශයෙන් ඇතුළත් වන අතර ඔහු මීට පෙර ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ඉහළ දස්කම් දැක්වූවා. 

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලියෙ හෙට ආරම්භ වීමට නියමිත අතර එහි සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. 

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<