මයිලෝ ජනාධිපති කුසලාන රග්බි තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (17) මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර පැවතියේ කොළඹ සුගතදාස පිටියේ දී ය. එම තරගයෙන් ලකුණු 34-12ක් ලෙස ධර්මරාජ ක්‍රීඩකයින් පරාජය කරමින් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් අවසන් මහා සටනට අසුන් වෙන්කර ගන්නා ලදි.

පසුගිය ලිපි: සටන්කාමී සාන්ත අන්තෝනි කණ්ඩායමට ඉසිපතනයෙන් ප්‍රතිප්‍රහාර

සාන්ත ජෝසප් විද්‍යාලය අර්ධ අවසන් පූර්ව තරගයේ දී වෙස්ලි විද්‍යාලය පරාජය කරමින් අවසන් පූර්ව තරගයේ තම අසුන වෙන්කර ගන්නා විට, රාජකීය විද්‍යාලය තරගාවලියට සහභාගි නොවන නිසා නිතරගයෙන් අවසන් 4ට සුදුසුකම් ලබා ගැනීමට ධර්මරාජ විද්‍යාලයට හැකි විය.

සාන්ත ජෝසප් විද්‍යාලය තරගය ආරම්භ කළ අතර, පළමු මිනිත්තු කිහිපය තුල දී ම තරගයේ උණුසුම් බව විදහාලමින් සාන්ත ජෝසප් විද්‍යාලයේ සචිත් සිල්වා සිය කණ්ඩායමට ලැබුණු දඬුවම් පහර සාර්ථක කර ගනිමින් තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. (සාන්ත ජෝසප් 03-00 ධර්මරාජ)

ධර්මරාජ ක්‍රීඩකයින් පිටියේ තම අන්තය දෙසට පන්දුව රැගෙන ගියත් එය උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කර ගැනීමට ඔවුන් අපොහොසත් විය. තරගයේ 10 වන මිනිත්තුවේ දී සාන්ත ජෝසප් විද්‍යාලයේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක සචිත් සිල්වා නැවතත් තම කණ්ඩායමට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගන්නා ලදි. (සාන්ත ජෝසප් 06-00 ධර්මරාජ)

යළිත් වරක් ධර්මරාජ ක්‍රීඩකයෙක් විසින් විරුද්ධ ප්‍රදේශයට ගොස් ක්‍රීඩා කිරීම නිසා (off side)  සාන්ත ජෝසප් විද්‍යාලයට දඬුවම් පහරක් ලබා දීමට විනිසුරුතුමන් තීරණය කරන ලදි. තරගයේ 18 වැනි මිනිත්තුවේ දී එම දඬුවම් පහර අවස්ථාව සාර්ථක කර ගැනීමට සචිත් සිල්වා සමත් වූයේ, තරගයේ තම තෙවන දඬුවම් පහර ද සාර්ථක කර ගනිමිනි. (සාන්ත ජෝසප් 09-00 ධර්මරාජ)

එයින් නොනැවතුණ සචිත්, සාන්ත ජෝසප් විද්‍යාලයේ ප්‍රේක්ෂකයින්ගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ තරගයේ පළමු උත්සාහක දිනුම, 24 වන මිනිත්තුවේ දී වාර්තා කළ අතර, එහි ප්‍රවර්තන අවස්ථාව ද පහසුවෙන්ම  සාර්ථක කර ගැනීමට සචිත් සමත් වූයේ සාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු පුවරුවේ පෙරමුණේ තබමිනි. (සාන්ත ජෝසප් 16-00 ධර්මරාජ)

ධර්මරාජ විද්‍යාලය පීඩනයකට හසු වී සිටි මොහොතේ ධර්මරාජ විද්‍යාලයේ පසුපෙළ ක්‍රීඩක කේ. බී. ඒකනායක විසින් සාන්ත ජෝසප් විද්‍යාලයේ පසුපෙළ තරණය කරමින් 29 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් සාර්ථක කර ගැනීමට සමත් විය. නමුත් එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (සාන්ත ජෝසප් 16-05 ධර්මරාජ)

තරගයේ පළමු අර්ධය අවසන් වීමට මිනිත්තු කිහිපයක් පමණක් ඉතිරිව තිබිය දී කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර, සාන්ත ජෝසප් විද්‍යාලය 37 වැනි මිනිත්තුවේ දී ධර්මරාජ මුල්පෙළ අතරින් ඉදිරියට ගමන් කිරීමට වෑයම් කළත්, එය සාර්ථක වූයේ නැත.

පළමු අර්ධය – සාන්ත ජෝසප් විද්‍යාලය 16 – 05 ධර්මරාජ විද්‍යාලය

ධර්මරාජ විද්‍යාලය පළමු අර්ධය තුල දී තමන් අතින් සිදු වූ අඩුපාඩු බොහොමයක් දුරට මඟ හරවා ගෙන දෙවන අර්ධයේ පළමු මිනිත්තු කිහිපය තුල නැවතත් තරගයට අවතීර්ණ වූ අතර, ඒ බව විදහා දක්වමින් 43 වැනි මිනිත්තුවේ දී සී. එස්. පෙරේරා තමා වෙතට ලැබුණු පන්දුව උදන්ගමුව හා එක්ව ධර්මරාජ විද්‍යාලයට තවත් ලකුණු 5ක් එක් කර දීමට සමත් විය. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (සාන්ත ජෝසප් 16-12 ධර්මරාජ)

46 වැනි මිනිත්තුවේ දී හා 59 වැනි මිනිත්තුවේ දී සාන්ත ජෝසප් විද්‍යාලයට තවත් දඬුවම් පහර අවස්ථා දෙකක් ලැබුණු අතර, එය ද සාර්ථක කර ගැනීමට සචිත් සමත් විය. ඒ අනුව එතෙක් වේලාවක් සාන්ත ජෝසප් විද්‍යාලය රැස්කරගත් ලකුණු 22ම සචිත් විසින් ලබා ගැනීම කැපී පෙනෙන සිදුවීමකි. (සාන්ත ජෝසප් 22-12 ධර්මරාජ)

61 වන මිනිත්තුවේ දී ධර්මරාජ විද්‍යාලය තම උත්සාහක දිනුම් රේඛාව අසල මිනිත්තු කිහිපයක්ම රැඳී සිටිය ද, සාන්ත ජෝසප් විද්‍යාලයේ පසුපෙළ එම උත්සාහය සාර්ථක කර ගැනීමට අවස්ථාවක් ලබා නොදුන්නේ නැත. නමුත් 65 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ චතුර සෙනෙවිරත්න ධර්මරාජ විද්‍යාලයේ පසුපෙළ ක්‍රීඩකයින් මුලා කරමින් සාර්ථක ලෙස තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර, එහි ප්‍රවර්තන අවස්ථාව ද සාර්ථක කර ගැනීමට ඔවුන්ට හැකි විය. (සාන්ත ජෝසප් 29-12 ධර්මරාජ)

තරගය අවසන් වීමටත් පෙරාතුව විනුල් ප්‍රනාන්දු, චතුර සෙනෙවිරත්න විසින් ලබා දුන් පන්දුව 68 වැනි මිනිත්තුවේ දී උත්සාහක දිනුමක් බවට පරිවර්තනය කරන ලදි. එහි ප්‍රවර්තන අවස්ථාව සචිත්ට මඟ හැරුණු අතර, එය අද දිනයේ ඔහු අතින් සිදු වූ පළමු මඟ හැරීම විය. (සාන්ත ජෝසප් 34-12 ධර්මරාජ)

73 වැනි මිනිත්තුවේ දී සාන්ත ජෝසප් විද්‍යාලයේ ශක්තිමත් පසුපෙළ තරණය කරමින්, ධර්මරාජ විද්‍යාලයේ ටී. ඩී. පියතිස්ස උත්සාහක දිනුම් අවස්ථාවකට ඉතාමත් ආසන්න අවස්ථාවක් වෙතට ඇදී ගියත්, ජෝසප්වරුන් වෙනුවෙන් උපක්‍රමශීලී වූ විනුල් ප්‍රනාන්දු ධර්මරාජ විද්‍යාලයේ ක්‍රීඩකයාව පිටියෙන් ඉවතට දමන ලදි. අවසානයේ තරගය ලකුණු 34-12ක් ලෙස ජයග්‍රහණය කරමින් ජනාධිපති කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ජෝසප්වරු සමත් විය.

අවසන් ලකුණු තත්වය – සාන්ත ජෝසප් විද්‍යාලය 34-12 ධර්මරාජ විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා – සචිත් සිල්වා (සාන්ත ජෝසප් විද්‍යාලය)

ලකුණු ලබා ගැනීම,

  • සාන්ත ජෝසප් විද්‍යාලය: උත්සාහක දිනුම් – 3, ප්‍රවර්තන – 2, දඬුවම් පහර – 5
  • ධර්මරාජ විද්‍යාලය: උත්සාහක දිනුම් – 2, ප්‍රවර්තන – 1

මෙම පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය හෙට (18) කොළඹ ඉසිපතන විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වේ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න  රග්බි ක්‍රීඩා පිටුවට <<