ඇතුළෙම කෙනෙක්‌ සටන පාවා දෙයි

98

දේශපාලන බලපෑම මත ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ මුල් පුටුවට පත්වීම පිණිස උත්සහ කළ, සුදුසුකම් රහිත වෛද්‍යවරයාව නැවතත් වෙනත් මාර්ගයකින් එම තනතුරට පත්කිරීම සඳහා ක්‍රීඩා වෛද්‍ය ඒකකයටම අනුයුක්‌ත වෛද්‍යවරයකු විසින් ප්‍රබල උත්සාහයක්‌ ගනු ලබන බව ‘දිවයින’ට වාර්තා වේ.

එම ආයතනයේ ප්‍රධානී තනතුර දරමින් සිට (මෙම මාර්තු මස සිය සේවය අවසන් කළ බවට රජයෙන් දැනුම්දීමක්‌ ලැබූ නමුත්) මේ දක්‌වා අදාළ මුල් පුටුවේ අසුන්ගෙන සිටින වෛද්‍ය උපාලි බානගල මහතාව ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් පිටමං කිරීම සඳහා ප්‍රබල උත්සහයක්‌ දරමින් සිටිනුයේද, ක්‍රීඩා වෛද්‍ය ඒකකයට අනුයුක්‌ත අදාළ වෛද්‍යවරයා බව වැඩිදුරටත් දැනගන්න ලැබේ.

එම වෛද්‍යවරයා විසින් ඉකුත් දා ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප්‍රධානියාට හිමි කාමරය අගුලූ දමා යතුර තමන් භාරයට රැගෙන ඇති බවත් අවසානයේ වෛද්‍ය බානගල මහතාට එම කාමරය විවෘත කර ගත හැකි වූයේ ක්‍රීඩා අමාත්‍යංශයේ බලධාරියකුගේ මැදිහත්වීමෙන් පසුව බවත් කියෑවේ. 

මේ අතර සුදුසුකම් රහිත අදාළ වෛද්‍යවරයාව ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ මුල් පුටුවේ අසුන්ගැන්වීම පිණිස ඒකකයේ සෙස්‌සන් නොමග යවමින් ලියුමක්‌ අත්සන් කරගැනීමටද ක්‍රීඩා වෛද්‍ය ආයතනයට අනුයුක්‌ත එම වෛද්‍යවරයා ක්‍රියාකර ඇති බව පැවසේ. ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ මුල් පුටුව භාරදීම පිණිස උත්සාහ දරමින් සිටින වෛද්‍යවරයා රජයේ ඉහළම තනතුරක ආශිර්වාදය ලබන්නෙක්‌ බැවින් ඒ සඳහා ආයතනයේ සෙසු සියල්ලන්ගේද කැමැත්ත ලබා දීම යුතුකම යෑයි මෙම වෛද්‍යවරයා පවසන බව වාර්තා වේ.

නමුත් ක්‍ෂේත්‍රයේ අත්දැකීම් නොමැති, කනිෂ්ඨ වෛද්‍යවරයකු දේශපාලන බලපෑම මත ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ ප්‍රධානියා බවට පත්කිරීමට ගනු ලැබූ උත්සහයේදී එම ආයතනයේ සෙසු පිරිස්‌ සම්පූර්ණයෙන්ම එයට විරෝධය පා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට ද පෙළඹුන අතර, එම පුද්ගලයාව අදාළ තනතුර වෙනුවෙන් පත්නොකරන බව ක්‍රීඩා ඇමතිවරයා විසින් පසුගියදා පැවැති රැස්‌වීමකදී ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ සෙසු වෛද්‍යවරුන් හමුවේ සහතික ව තිබේ. 

මේ අතර අමාත්‍ය කරු ජයසූරිය ප්‍රධාන කැබිනට්‌ අනුකාරක සභාවක්‌ විසින්ද අදාළ වෛද්‍යවරයා එම තනතුර සඳහා නුසුදුස්‌සෙකු බවට තීරණය කර ඇතැයි සැලවේ.