පාලිතට සහ ප්‍රේමසරට රන් සම්මාන

137
Palitha and Premasara

ප්‍රථම වතාවට සංවිධානය කිරීමට නියමිත ´සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල´ මේ මස 11 වැනිදා කොළඹ – 7, ක්‍රීඩා අමාත්‍යංශ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

සබුද්ධි සාහිත්‍ය කවය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේ දී ජීවිතයට එක් වරක් පමණක් පිරිනැමෙන සබුද්ධි රන් සම්මානය සඳහා ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන පාලිත පෙරේරා සහ ප්‍රේමසර ඈපාසිංහ යන මහත්වරුන් තෝරාගෙන ඇත.

සිංහල ක්‍රිකට් විස්තර විචාරකයින් ලෙස කටයුතු කරමින්  ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම මෙරට ක්‍රීඩා සාහිත්‍ය වෙනුවෙන් දශක 5කට අධික කාලයක් කරන ලද මහඟු සේවය ඇගයීමක් ලෙස මොවුන් දෙදෙනාට මෙම රන් සම්මාන පිරිනමනු ලැබේ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා සහභාගී වන මෙම සම්මාන උළෙලේ දී, ශ්‍රී ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ මලල ක්‍රීඩිකාවක් වන සුසන්තිකා ජයසිංහ ද රන් සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතයි.

තවත් ක්‍රීඩා පුවත්:

2000 වසරේ පැවති සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීම වෙනුවෙන් ඇයට මෙම සම්මානය පිරිනැමෙන අතර සුසන්තිකාගේ එම ඔලිම්පික් ජයග්‍රහණයට විසි වසරක් සමරමින් මෙම සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල පැවැත්වීම ද විශේෂත්වයකි.

තවද ක්‍රීඩා සාහිත්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ 10ක් යටතේ සම්මාන සහ කුසලතා සහතික පත්‍ර පිරිනැමෙන මෙම සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේ දී 2019 වසරට අදාළව වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියා, ක්‍රීඩා සාහිත්‍ය ශාස්ත්‍රීය කෘතිය සහ ක්‍රීඩා සාහිත්‍ය විවිධ විෂයික කෘතිය මෙන්ම දිනපතා සහ සතිපතා පුවත්පත් යන අංශ සම්මානයට පාත්‍ර වනු ඇත. එසේම වසරේ ගුවන් විදුලිය, රූපවාහිනිය සහ නව මාධ්‍ය (වෙබ්අඩවි) යන අංශ මෙන්ම වසරේ ක්‍රීඩා සඟරාව සඳහා ද සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන පිරිනැමේ.

මෙම සම්මාන උළෙල සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දරණ ශ්‍රී ලංකා ටෙලිකොම් හා මොබිටෙල් සමාගම්හි සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ ක්‍රීඩාවේ පැවැත්ම සහ දියුණුව සඳහා ක්‍රීඩා සාහිත්‍ය විෂය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීම යහපත් සහ කාලීන ප්‍රවණතාවත් බවයි.

රටක දියුණුවට ක්‍රීඩාව අත්‍යාවශ්‍යම දෙයක් බවත් පැවසූ රොහාන් ප්‍රනාන්දු මහතා, 

“විශේෂයෙන්ම තරුණයන්ගේ මනස හැඩගැස්වීමට මෙන්ම ඔවුන් නිසි ක්‍රමවේදයක් යටතේ විනයානුකූලව සමාජයට යොමුකිරීමට ක්‍රීඩාව උපයෝගී කරගන්න පුළුවන්. ඒ සඳහා නිසි ප්‍රමිතියකට අනුව කටයුතු කරමින් දායක වන ආයතන හෝ සංවිධාන හරහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයත් සම්බන්ධ වීමට කැමැත්තක් දක්වනවා. ඒ නිසා මෙවැනි වැඩසටහනකට සම්බන්ධ වීමට සිදුවීම ගැනත් ඒ සඳහා අනුග්‍රහය දැක්වීමට අවස්ථාව ලැබීම ගැනත් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සන්නිවේදන කරු හැටියට අපි සතුටට පත්වෙනවා” යනුවෙන් ද වැඩිදුරටත් පැවසීය.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<