පාකිස්තානය පරාජය කළ අපිට ඉන්දියාව කවුද?

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

270

දුර්වල යැයි සම්මත කණ්ඩායම් පවා ‘කළ නොහැක්කක් නොමැත’ යන හැඟීමෙන් යුතුව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ දී ක්‍රීඩා කරන බවට සනාථ කළ කණ්ඩායම් අතරින් එකක් ලෙස සිම්බාබ්වේ කණ්ඩායම හඳුන්වා දෙන්න පුළුවන්.

මෙවර ලෝක කුසලානයේ දී නෙදර්ලන්ත සහ බංග්ලාදේශ කණ්ඩායම් හමුවේ අවාසනාවන්ත ලෙස පරාජයන් උරුම කරගත්තා වුවත්, තරගාවලියේ විශාලතම පෙරලියක් කරමින් පාකිස්තාන කණ්ඩායමට එරෙහිව එක් ලකුණක ඉතා තියුණු ජයග්‍රහණයක් හිමි කරගැනීමට ඔවුන් සමත් වුනා.

එම ජයග්‍රහණය සිම්බාබ්වේ කණ්ඩායමට තමන් ගැනම විශ්වාසයක් ඇති කළ බවත්, හෙට (6) ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරගයේ දීත් එය ශක්තියක් කරගන්නා බවත් කණ්ඩායම් නායක Craig Ervine පවසා සිටිනවා.

“මම හිතන්නේ අපි පාකිස්තානයට එරෙහිව ලද ජයග්‍රහණයත් සමඟින් මේ තරගාවලියේ දී අපිට ඕනෑම කණ්ඩායමක් පරාජය කළ හැකියි කියන විශ්වාසය ලැබිලා තියෙනවා. හෙට තරගයට යද්දී ඒ විශ්වාසයේ වෙනසක් වෙයි කියලා මම හිතන්නේ නැහැ.”

“ඇත්තෙන්ම මම හිතන්නේ ලෝක කුසලානය ඉතාම උද්වේගකර එකක්, මොකද ගොඩක් තියුණු තරග පැවැත්වුනා. මේ තරගාවලියෙන් අපි ඉගෙන ගත්ත එක දෙයක් තමයි ඔබ කවදාවත් ඉවතට නොයන බව. ඔබට හැකි නම් තරගයේ රැඳී සිටීමට උත්සාහ කරමින් එය පුළුවන් තරම් දුර ගෙනියන්න, ඔබ දන්නේ නැහැ එය ඔබව කෙතෙක් දුර ගෙන යාවි ද කියලා. ඔබ ක්‍රීඩා කරන විවිධ තරගවල දී ලැබෙන්නේ එකිනෙකට වෙනස් පීඩනයන් සහිත අවස්ථා. ඒ නිසා පුළුවන් තරම් තරගය ඇදගෙන යන්න, ඔබට පෙර අනිත් පාර්ශවයට කලබල වෙන්න ඉඩ සලස්වන්න.” යනුවෙන් සිම්බාබ්වේ නායකයා හෙට තරගය වෙනුවෙන් ඔවුන්ගේ සැලසුම් පැහැදිලි කළා.

මූලික වටයේ දී ස්කොට්ලන්තයට සහ අයර්ලන්තයට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරමින් B කාණ්ඩයේ ප්‍රථමයා ලෙසින් සුපිරි කණ්ඩායම් 12 අතරට තම කණ්ඩායම එකතු වූයේ ඉතාම හොඳ ජවයක් සහිතව බව ද ඔහු තවදුරටත් සඳහන් කළා.

“බලන්න, මේ තරගාවලියට එද්දිම අපි දැනගෙන හිටියා අපිට හොඳ ජවයක් තියෙනවා කියලා. තරගාවලියට එන්න පෙර සිටම අපි හොඳ විශ්වාසයකිනුයි හිටියේ. අපේ ප්‍රධාන ඉලක්කය වුනේ සුපිරි කණ්ඩායම් 12 අතරට තේරී පත්වීම සහ හොඳ කණ්ඩායම් වලට එරෙහිව දක්ෂතා දැක්වීම.”

“තරගාවලියෙන් ඉවත් වෙලා යද්දී අපිට අවශ්‍ය වෙන්නේ මේ පවත්වා ගෙන ආපු ක්‍රීඩා විලාසයම ඉදිරියට රැගෙන යාමයි. ඉදිරියට අපේ කාලසටහන තවත් කාර්‍ය බහුල එකක් වෙනවා. ඉතින් අපිට අවශ්‍යයි අපි නිර්මාණය කරගත් මේ සාර්ථකත්වය නොකඩවා පවත්වා ගෙන යන්න.”

“මම හිතන්නේ අපි හොඳ පදනමක් නිර්මාණය කළා. සිම්බාබ්වේ ක්‍රිකට් වෙනුවෙන් බලා සිටින බොහෝ දෙනෙක් ඉන්නවා. එය ඉදිරියටත් පවත්වා ගෙන යාමට අපිට අවශ්‍යයි.”

මෙතෙක් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමේ සාර්ථකත්වයේ කොඳු නාරටිය බවට පත් වූ Muzarabani (දැනට තරගාවලියේ දෙවැනියට ඉහළම කඩුලු ලාභියා – 11) සහ ඔහුගේ සහයට සිටි Richard Ngaravaගේ (කඩුලු 8) ප්‍රධානත්වයෙන් යුත් වේගපන්දු බල ඇණිය පිළිබඳව ද Ervine විශේෂයෙන්ම සඳහන් කළා.

තරගාවලියේ සිටින හොඳම පිතිකරණ බල ඇණියට හෙට තරගයේ දී පන්දු යැවීම මගින් තම පන්දු යවන්නන් පිළිබඳ හොඳ තක්සේරුවක් ලබා ගත හැකි බවත් ඔහු පවසා සිටියා.

“ලෝකයේ සිටින හොඳම ක්‍රීඩකයින් කිහිපදෙනෙකුටම පන්දු යැවීමට ලැබීම හොඳ අවස්ථාවක්. අපේ ක්‍රීඩකයින් තරගයට ගොඩක් හොඳින් ක්‍රීඩා කරාවි. ඔවුන්ට එයට අකමැති වෙන්න කිසිම හේතුවක් නැහැ, කොතරම් කලාතුරකින් ද ඔබට Virat Kohliව දවා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ?”

ඔහු තම වේගපන්දු යවන්නන් පිළිබඳ විශ්වාසයෙන් කතා කරන අතරේම තම ප්‍රධාන තුරුම්පුව වන Sikandar Raza පිළිබඳව ද සිය හඬ අවදි කළා. Raza විසින් මෙතෙක් තරගාවලියේ තරග 7ක දී ලකුණු 185ක් රැස් කරගෙන ඇත්තේ ප්‍රහාරක වේගය 149.19ක අගයක් සටහන් කර ගනිමින්.

එමෙන්ම ඔහු  ප්‍රතිවාදී කඩුලු 9ක් මේ වන තෙක් දවා ගැනීමට සමත් වී තිබෙනවා. Ervine පවසන පරිදි හෙට ඉන්දියාවට තර්ජනයක් වීමට නම් Raza මෙම තරගාවලියේ කළා මෙන් ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම තනි පුද්ගල දක්ෂතා දැක්වීම අත්‍යාවශ්‍ය වෙනවා.

“මේ තරගාවලිය පුරාවටම Sikandar Raza අප වෙනුවෙන් ඉතා සුවිශේෂී දස්කම් දැක්වූවා. ඒ වගේම හෙට ඉන්දියාවට එරෙහිව තරගයක් දෙන්න නම් ඒ විදිහේ දක්ෂතා අපේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුගෙන්ම අවශ්‍ය වෙනවා.”

මේ අතර බංග්ලාදේශයට එරෙහිව ලද අවාසනාවන්ත පරාජය පිළිබඳව අදහස් දැක්වූ Ervine පවසා සිටියේ තරගයේ එක් මොහොතක සිම්බාබ්වේ කණ්ඩායමට ජයග්‍රහණය කළ හැකි බව හැඟුණු බවත්, මොහොතකින් සියල්ල කණපිට ගැසුනු අතර එයින් කළකිරීමට පත් වූ බවත් ය.

“ඔව්, බංග්ලාදේශයට එරෙහිව ලද පරාජය, විශේෂයෙන්ම ඒ තරම් ළඟට ඇවිත් පැරදුනු එක කළකිරවන සුළුයි. මම හිතන්නේ අපි මුලින්ම හිටපු විදිහත් එක්ක ඒක තවත් දැනෙනවා වැඩියි. අපි තරගයෙන් එළියෙයි හිටියේ, නමුත් Sean Williams සහ Ryan Burl අපිව ජයග්‍රහණයේ ආසන්නයටම ගෙනාවා. ඊට පස්සේ නිපන්දුවක්, නැවත පිටියට එන්න සිදුවෙනවා, මේ දේවල් ගැන ආයෙත් හිතද්දී ඒක අපිට දිනන්න තිබුණු තරගයක් කියලයි හිතෙන්නේ.”

Ervineට අනුව පන්දු රැකීම සහ powerplay හි දී පිතිකරණයේ යෙදීම කණ්ඩායමේ තවත් දියුණු කරගත යුතු අංශ වෙනවා. ඉනිම ආරම්භයේ දීම කඩුලු බිඳ වැටීම මගින් Razaට අමතර පීඩනයක් එල්ල වන බව ඔහු පවසා සිටිනවා.

“මම හිතන්නේ අපි දියුණු කරගත යුතු අංශ කිහිපයක්ම තියෙනවා. එයින් එකක් තමයි පන්දු රැකීම. පසුගිය තරග කිහිපයේ දීම අපේ පන්දු රැකීම ටිකක් දුර්වලයි. ඒ වගේම powerplay එකේ දී අපි ටිකක් හිර වෙනවා. අපේ මුල්පෙළ කඩුලු ඉක්මණින් බිඳ වැටෙනවා. ඒ නිසා මැදපෙළට අමතර පීඩනයක් එල්ල වෙනවා.” 

“මම හිතන්නේ කඩුලු එක පිට එක බිඳ වැටීම තමයි අපේ පිතිකරණයේ දුර්වලතාවය වෙන්නේ. ඒ වගේම පන්දු රැකීමේ දී උඩ පන්දු ගිලිහී යාම සහ පන්දු අත්හැරීමේ දුර්වලතා නිවැරදි කරගත යුතුයි.”

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<