ශූරයින්ගේ ශාපය නැවත වරක් සත්‍යයක් වෙමින්, 2014 ලෝක ශූර ජර්මනිය ඉතිහාසයේ පළමු වතාවට මෙවර පළමු වටයේ තරග දෙකක් පරාජය වෙමින්  ඊයේ (27) කොරියාව හමුවේ ද ගෝල 2-0ක පරාජයක් අත්විඳිමින් ලෝක කුසලානයෙන් ඉවත් වන්නට සිදු විය.

මේ අතර නොසිතූ ලෙස ප්‍රබල මෙක්සිකෝව ගෝල 3-0ක් ලෙස පරාජය කරමින් ස්වීඩනය අවසන් 16ට පිවිසුණේ ජර්මනිය හා කොරියාව ලෝක කුසලානයෙන් ඉවතට ඇද දමමිනි. 2010 ලෝක ශූරයින් වූ ස්පාඤ්ඤයට 2014 දීත්, 1998 ලෝක ශූරයින් වූ ප්‍රංශයට 2002 දීත්, ඉතාලියට 2010දීත් අත්වුණේ මේ ඉරණම ම ය.  

FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ (27) දිනයේ, කාණ්ඩ මට්ටමේ සිය අවසන් තරග සඳහා F කාණ්ඩයේ කණ්ඩායම් හතර සහභාගී වූ අතර එහි දී ලෝක ශූර ජර්මනිය හා දකුණු කොරියාව Kazan හි Kazan ක්‍රීඩාංගණයේදීත්, ස්වීඩනය හා මෙක්සිකෝව Ekaterinburg හි Ekaterinburg ක්‍රීඩාංගණයේදීත් එකම වෙලාවේ තරග වැදුණි. ලෝක ශූර ජර්මනිය කොරියාව අතින් පරාජය වෙද්දී, මෙක්සිකෝ කණ්ඩායමට නොසිතූ ගෝල 3-0ක් පරාජයක් අත්කරදෙන්නට ස්වීඩනය සමත් වූයේ F කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගනිමිනි. ඒ අනුව මෙක්සිකෝව හා ස්වීඩනය F කාණ්ඩයෙන් 16 දෙනාගේ වටයට පිවිසෙනු ඇත.

මෙසීගේ වාසනාවෙන් ආර්ජෙන්ටිනාව අවසන් 16ට; ප්‍රංශය, ඩෙන්මාර්කය, ක්‍රොඒෂියාව ඉදිරියට

2018 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ කාණ්ඩ අදියරේ සිය අවසන් තරග සඳහා…

දිනයේ දෙවන තරග දෙකේ දී E කාණ්ඩයේ කණ්ඩායම් හතර පිටියට පිවිසුණු අතර බ්‍රසීලය හා සර්බියාව මොස්කව් හි Spartak ක්‍රීඩාංගණයේදීත්, ස්විස්ටර්ලන්තය හා කොස්ටාරිකා Nizhny Novgorod හි Nizhny Novgorod ක්‍රීඩාංගණයේදීත් තරග වැදුණි. සර්බියාව ගෝල 2-0ක් ලෙස පරාජය කරමින් බ්‍රසීලය පහසුවෙන් 16 දෙනාගේ වටයට පිවිසුණු අතර කොස්ටාරිකා හමුවේ ගෝල 2-2ක් ලෙස තරගය ජය පරාජයෙන් අවසන් වුවත් 16 දෙනාගේ වටයට පිවිසීමට ස්විස්ටර්ලන්තය සමත් විය.  

E කාණ්ඩයෙන් කොස්ටාරිකාව හැර බ්‍රසීලය, සර්බියාව හා ස්විස්ටර්ලන්තය යන රටවල් තුනටම 16 දෙනාගේ වටයට පිවිසීමේ අවස්ථාව තිබූ නිසා තරග දෙකම ඉතා උණුසුම් විය.

සර්බියාව හමුවේ බ්‍රසීලය පහසුවෙන් 16 දෙනාගේ වටයට

පළමු මිනිත්තුවේ සිටම බ්‍රසීල ක්‍රීඩකයෝ සිය ආධිපත්‍ය පැතිරවූ අතර සර්බියාවට පළමු අර්ධය පුරා නිසි ඉලක්කයට ගෝල රාමුවට ප්‍රහාරයක් එල්ල කර ගැනීමට ඉඩක් ලැබුණේ නැත.

පළමු අර්ධය ආරම්භයේ දී ම බ්‍රසීල සුපිරි ආරක්ෂක ක්‍රීඩක මාර්සෙලෝ පිටියෙන් ඉවත් වූයේ ආබාධයක් නිසාවෙනි. ආරම්භයේ දී ම ඔහුව අහිමි වීම බ්‍රසීලයට ප්‍රබල අවාසියක් විය.

බ්‍රසීලයට මීළඟ වටයන්හි සාර්ථකව තරග කිරීමට නම් මාර්සෙලෝගේ සහය අත්‍යවශ්‍ය වනු ඇත

බ්‍රසීල ක්‍රීඩකයින් පන්දුවේ ආධිපත්‍ය පළමු අර්ධය පුරා තබා ගනිමින් අවස්ථා රාශියක් උත්සහ කළ අතර 36 වන මිනිත්තුවේ දී Coutinho එවූ පන්දුව මනා පන්දු පාලනයකින් යුතුව ලබාගෙන අලංකාර ලෙස ඉදිරියට පැමිණි ගෝල රකින්නාගේ හිසට ඉහළින් පන්දුව දැල වෙත යොමු කරන්නට PAULINHO සමත් විය.

PAULINHO මෙවන් අවස්ථා සාර්ථක කරගැනීමට ඉතා දක්ෂයෙකි

පළමු අර්ධය: බ්‍රසීලය 01 – 00 සර්බියාව

දෙවන අර්ධයේ දී සර්බියාව බ්‍රසීලයට ප්‍රබල පීඩනයක් එල්ල කළ අතර 60 වන මිනිත්තුවේ සිට එක ළඟ එක ළඟ අවස්ථා කිහිපයක්ම සර්බියාව ප්‍රහාර එල්ල කරත් බ්‍රසීල ගෝල රකින්නා හා තියාගෝ සිල්වා ප්‍රමුඛ ආරක්ෂක වළල්ල එම අවස්ථා සාර්ථක වීමට ඉඩ ලබා දුන්නේ නැත.  

කෙසේ වෙතත් සර්බියාවේ බලාපොරොත්තු සුන් කරමින් 67 වන මිනිත්තුවේ නේමාර් ‘corner’ අවස්ථාවක් ලබාගෙන යොමු කළ පන්දුව තියාගෝ සිල්වා අලංකාර ලෙස දැල වෙත යොමු කළේ දෙවන බ්‍රසීල ගෝලය ලෙසය.

අනතුරුව සර්බියා ක්‍රීඩකයින් හා බ්‍රසීල නායක සුපිරි ක්‍රීඩක නේමාර් ගෝල ලබා ගැනීමට කෙතරම් උත්සහ කළ ද එම උත්සාහයන් සාර්ථක වූයේ නැත.

අවසාන ලකුණු තත්වය: බ්‍රසීලය 2-0 සර්බියාව

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • බ්‍රසීලය – PAULINHO 36′ T. SILVA 68′

කොස්ටාරිකාව ගෞරවය බේරා ගනී

ස්විස්ටර්ලන්තයට අවසන් 16 දෙනාගේ වටයට ගමන් කිරීම සඳහා තවත් එක් ජයක් අවශ්‍යව තිබූ අතර කොස්ටාරිකාව මේ තරගය වන විටත් තරගාවලියෙන් ඉවත්ව සිටියේය.

කෙසේ වෙතත් පළමු මිනිත්තු 20 පුරා කොස්ටාරිකා ක්‍රීඩකයෝ සිය ගෞරවය සඳහා ප්‍රබල සටනක් දුන් අතර ස්විස්ටර්ලන්ත ගෝල රකින ක්‍රීඩක Sommer ගේ විශිෂ්ට දැල් රැකීම නිසා නොවන්නට කොස්ටාරිකාවට නිසැක ගෝලයක් හිමි වීමට තිබුණි.

කෙසේ වෙතත් ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයෝ කෙමෙන් කෙමෙන් තරගයේ පාලනය සිතට ගත් අතර Blerim Dzemaili 31 වන මිනිත්තුවේ දී Keylor Navas පසු කරමින් අලංකාර ලෙස පන්දුව දැල වෙත යැවීමට සමත් විය.

Dzemaili අවශ්‍යම මොහොතේ තරගයේ පාලනය ස්විස්ටර්ලන්තයට රැගෙන ඒමට සමත්විය

පළමු අර්ධය: ස්විස්ටර්ලන්තය 01 – 00 කොස්ටාරිකාව

දෙවන අර්ධය ආරම්භයේ නැවතත් නොසිතූ පීඩනයක් කොස්ටාරිකාව ස්විස්ටර්ලන්තයට එල්ල කළ අතර 56 වන මිනිත්තුවේ දී K WASTON විසින් විශිෂ්ට ලෙස සිය හිසෙන් පන්දුව ගෝල රාමුව වෙත යොමු කළේ කොස්ටාරිකාව වෙනුවෙන් ගෝල සමකරමිනි.

කොස්ටාරිකාව සිය ගෞරවය වෙනුවෙන් ප්‍රබල සටනක් දීමට සමත් විය

කොස්ටාරිකා පීඩනය මධ්‍යයේ ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාසය පෙර තරගවලට වඩා දුර්වල මට්ටමක තිබූ නමුත් තරගයේ අවසාන භාගයේ 88 වන මිනිත්තුවේ DRMIC අලංකාර ප්‍රහාරයක් මගින් ස්විස්ටර්ලන්ත දෙවන ගෝලය වාර්තා කිරීමට සමත් විය.

ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයෝ පෙරමුණ ගැනීමට සමත්වුවද කොස්ටාරිකා ක්‍රීඩකයින් වැඩි වෙලා ඔවුන්ට සතුටින් සිටීමට ඉඩ ලබාදු න්නේ නැත

90+2 මිනිත්තුවේ දී ZAKARIA විසින් J CAMPBELLට අනවශ්‍ය බාධාවක් කළ නිසා 90+3 මිනිත්තුවේ දී කොස්ටාරිකාවට දඬුවම් පහරක් හිමි වූ අතර BRYAN විසින් එහි ප්‍රවර්තනය සඳහා උත්සහ කළ අතර පන්දුව ස්විස්ටර්ලන්ත දැල් රකින්නා අතින් ගෝලය තුලට ගියේ කොස්ටාරිකාවට ගෝලයක් ලබා දෙමිනි.

අවසන් ලකුණු තත්වය: කොස්ටාරිකාව 02 – 02 ස්විස්ටර්ලන්තය

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ                                                                                                 

  • ස්විස්ටර්ලන්තය –   DZEMAILI 31′, DRMIC 88′
  • කොස්ටාරිකාව – K. WASTON 56′, SOMMER 90’+3′ (OG)

කොරියානු ගෝල රකින්නා ජර්මානු සිහින සුනුවිසුනු කර දමයි

Photo – FIFA.com

වෙනස්කම් පහක් සමඟින් ජර්මනිය අද තරගයට පිවිසුණු අතර කණ්ඩායම් දෙකටම ජයග්‍රහණය අත්‍යවශ්‍ය වූ නිසා කොරියානු ක්‍රීඩකයෝ ද ප්‍රබල සටනක නිරත විය. තේරීම් තරගවල අපරාජිතව සිටිමින් ගෝල 43ක් වාර්තා කළ ජර්මානු ක්‍රීඩකයෝ අවශ්‍යම මොහොතේ දක්ෂතා දැක්වීමට අසමත් වූ අතර ඉතිහාසයේ පළමු වතාවට තරග දෙකක් පරාජය වී පළමු වටයෙන්ම ඉවත් වීමට ජර්මනියට සිදු විය.

ජර්මන් මැදපෙළ පන්දුවේ පාලනය සියතට ගෙන ප්‍රබල ක්‍රීඩා විලාසයක නිරත වුවද, තරගයේ පළමු ආසන්න අවස්ථාව 18 වන මිනිත්තුවේ ළඟා කර ගත්තේ කොරියාවයි. Jung Wooyoungගේ නිදහස් පහර සුපිරි ජර්මන් ගෝල රකින ක්‍රීඩක Manuel Neuer වෙතටම එල්ල වූ නමුත් ඔහු එක්වරම එය රැක ගැනීමට අසමත් වීම නිසා පන්දුව ඉදිරියට ගිලිහිණි. කෙසේ වෙතත් ක්ෂණිකව ක්‍රියාත්මක වූ Neuer, Son Heungmin ළඟා වීමට පෙර පන්දුව පිටියෙන් ඉවතට යැව්වේ සිය වරද ක්ෂණිකව නිවැරදි කරමිනි.

පළමු ආසන්න අවස්ථාව කොරියාවට නූලෙන් අහිමි විය – Photo – FIFA.com

38 වන මිනිත්තුවේ දී ‘corner’ අවස්ථාවකින් ලද පන්දුවක් WERNER පිටියට යෑමට නොදී චතුරශ්‍රයට යොමු කළ අතර පන්දුව HUMMELS වෙත ලැබුනත් ඔහු වටා සිටි කොරියානු ආරක්ෂක ක්‍රීඩකයින් ඔහුව වටකරගෙන සිටි නිසා ඔහුට නිසි ප්‍රහාරයක් එල්ල කිරීමට හැකි වූයේ නැත.

ඉතා හොඳින්  ස්ථානගත වී සිටි කොරියානු ආරක්ෂක ක්‍රීඩකයෝ HUMMELSගේ පහර අවහිර කළේය – Photo – FIFA.com

පළමු අර්ධය පුරාම වැඩි කාලයක් පන්දුව ජර්මන් ක්‍රීඩකයින් අතර තිබුනත්, වැඩිම උත්සාහ ගණනක් වාර්තා කර තිබුණේ ජර්මනියයි. මේ තරගාවලියේ හොඳම කොරියානු පළමු අර්ධයේ  ක්‍රීඩා විලාසය සනිටුහන් කරමින් කොරියානු ක්‍රීඩකයෝ ප්‍රබල ජර්මන් මැදපෙළට ගෝලයක් සඳහා පැහැදිලි අවස්ථාවක් ලබා දුන්නේම නැත.

පළමු අර්ධය: ජර්මනිය 00 – 00 කොරියාව  

දෙවන අර්ධයේ කොරියානු ක්‍රීඩකයින් ප්‍රබල ක්‍රීඩා විලාසයක නිරත වූ අතර කොරියානු දැල් රකින්නා JO Hyeonwoo සුපිරි දස්කම් දක්වමින් ජර්මානු අවස්ථා රාශියක් ව්‍යර්ථ කළේ ජර්මන් ක්‍රීඩකයින් සම්පුර්ණයෙන් තුෂ්නිම්භූත කරමිනි.

දෙවන අර්ධය ආරම්භයේ  Leon Goretzka හිසෙන් අලංකාර ලෙස යොමු කළ පන්දුව ගුවනේ පාවි ගිය Hyeonwoo රැක ගත්තේ නියත ගෝලයක් වළක්වමිනි.

දිනය පුරා සුපිරි දැල් රැකීමෙන් Hyeonwoo ජර්මානු සිහින සුනුවිසුනු කළේය – Photo – FIFA.com

අනතුරුව 75 වන මිනිත්තුව ආසන්නයේ Mario Gomez හට අනගි අවස්ථාවක් හිමි වූ අතර විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ කොරියානු ආරක්ෂක ක්‍රීඩකයින් නැවත වතාවක් නිසැක ගෝලයක් ව්‍යර්ථ කළේය.

ජර්මානු ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා රටාව ඉතාම දුර්වල විය – Photo – FIFA.com

අනතුරුව අවසාන මිනිත්තු කිහිපයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක් ආරම්භ කළ කොරියානු ක්‍රීඩකයින් නොසිතූ ලෙස ජර්මානු අර්ධය ආක්‍රමණය කිරීමට ආරම්භ කළේ 16 දෙනාගේ වටයට යාමට ගෝලයක් පමණක් අවශ්‍යව සිටි ජර්මානු ක්‍රීඩකයින් ප්‍රබල පීඩනයකට ලක් කරමිනි.

84 වන මිනිත්තුවේ දී HUMMELSගේ හිසෙන් පන්දු යොමු කිරීමක් ඉවත ගිය අතර ඉන් මොහොතකට පසු නැවත උත්සහ කළ ඔහුගේ දෙවන හිසෙන් පන්දු යොමු කිරීම සාර්ථකව ව්‍යර්ථ කිරීමට Hyeonwoo සමත් විය. තරගය පුරා HUMMELS අවස්ථා 5කට වඩා උත්සහ කළ නමුත් ඉන් එක අවස්ථාවකවත් පන්දුව දැල තුලට නොගියේ ජර්මනියේ අවාසනාවටමය.

HUMMELS උත්සාහයන් සියල්ල අපතේ ගියේය – Photo – FIFA.com

90+3 මිනිත්තුවේ දී ජර්මනියට පළමු මරු පහර එල්ල කිරීමට කොරියානු ක්‍රීඩකයෝ සමත් වූ අතර කෙටි පන්දු යොමු කිරීම් දෙකකින් පන්දුව ගෝල රකින්නා ඉදිරියටම ගත් Kim Younggwo පන්දුව දැල තුලට යොමු කළේ ජර්මානු බලාපොරොත්තු සුන් කරමිනි. ’VAR’  අවස්ථාව යොදාගෙන විනිසුරු එම ගෝලය OFFSIDE අවස්ථාවක් දැයි සලකා බැලූ අතර කොරියානු ක්‍රීඩකයා OFFSIDE ස්ථානයක සිටියත් අවාසනාවට පන්දුව ඊට පෙර ජර්මන් ක්‍රීඩකයෙකුගේ පාදයේ ගැටීම නිසා කොරියාවට එම ඉතිහාසගත වූ ගෝලය හිමි විය.

කොරියානු ක්‍රීඩකයින් සිය ගෞරවය රැකගත්තේ ලෝක ශූර ජර්මනිය සම්පූර්ණයෙන් බිඳ දමමිනි – Photo – FIFA.com

එක් ගෝලයකින් ජර්මානු සිහිනය රැක ගත හැකි නිසා ජර්මානු ක්‍රීඩකයින් ගෝලයක් ලබා ගැනීමට ප්‍රබල උත්සහයක් ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජර්මානු ගෝල රකින්නා ද කොරියානු අර්ධයේ ක්‍රීඩා කළේය. ඉන් අනගි ප්‍රයෝජන ගත කොරියානුවෝ පන්දුව ක්ෂණික දිගු පන්දු යොමු කිරීමකින් SON Heungmin වෙත භාර දුන් අතර ඔහු ඉතා පහසුවෙන් පන්දුව ගෝල රකින්නා නොමැති වූ දැලව වෙත යොමු කළේ ලෝක ශූර ජර්මනිය පළමු වටයෙන් ඉවතට ඇද දමමිනි.

Photos – FIFA.com

අවසාන ලකුණු තත්වය: ජර්මනිය 00 – 02 කොරියාව

ගෝල රැස්කළ ක්‍රීඩකයෝ

  • කොරියාව –  SON Heungmin 90+6, Kim Younggwo 90+3

ස්වීඩනයෙන් මෙක්සිකෝවට දැවැන්ත ප්‍රහාරයක්

දිනයේ දෙවන තරගයේ දී පළමු තරග දෙකම ජයගෙන සිටි මෙක්සිකෝව හා ජර්මනිය සමඟ තරගයෙන් පරාජය වූ ස්වීඩනය තරග වැදුණු අතර නොසිතූ ලෙස මෙක්සිකෝව අන්දමන්ද කළ ස්වීඩනය ගෝල 3-0ක ජයක් වාර්තා කළේ මෙක්සිකෝව මෙන්ම ලෝක ශූර ජර්මනියේ බලාපොරොත්තු ද බොඳ කරමින්.

තරගයේ ආරම්භක නලා නාදයෙන් තත්පර 13ක් ගත වෙද්දී මෙක්සිකෝවේ J GALLARDO හට කහ කාඩ්පතක් ලබා දෙන්නට විනිසුරු ක්‍රියාත්මක වූ අතර එය ලෝක කුසලාන ඉතිහාසයේ තරග ආරම්භයත් සමග අඩුම කාලයකින් හිමි වූ කහ කාඩ්පත ලෙස ඉතිහාසයට එක්විය.

තත්පර 13කින් GALLARDO වාර්තා පොත් අතරට එක්විය

මේ නොසිතු කහ කාඩ්පත් ආරම්භයත් සමග මෙක්සිකෝ ක්‍රීඩකයින් නොසිතූ ලෙස පසු පාදයට වැටුණු අතර ඊට සාපේක්ෂව ස්වීඩන් ක්‍රීඩකයෝ මනා සංවිධානාත්මක බවකින් යුතුව තරග කරන බව දක්නට ලැබුණි.

30 වන මිනිත්තුවේ දී ස්වීඩනය සඳහා දඬුවම් පහරක් ලබාදී මට Javier Hernandezගේ අතේ පන්දුව ගැටුණේ දැයි ‘VAR’ තාක්ෂණය මගින් විනිසුරු පරික්ෂා කළ නමුත් එය දඬුවම් පහරක් නොවන බවට විනිසුරු තීරණය කළේය.   

කෙසේ වෙතත් පළමු අර්ධයේ දී කිසිදු කණ්ඩායමක් ගෝලයක් වාර්තා කිරීමට සමත් වූයේ නැත.

පළමු අර්ධය: ස්වීඩනය 00 – 00 මෙක්සිකෝව

දෙවන අර්ධයේ දී පෙරළි රැසක් සිදු වූ අතර වියැකෙමින් තිබූ ලෝක කුසලාන 16 දෙනාගේ වටයේ සිහිනය ස්වීඩනය නවතා ළඟා කරගත්තේ මෙක්සිකෝ ආරක්ෂක වළල්ල සම්පුර්ණයෙන් බිඳ දමමිනි.

50 වන මිනිත්තුවේ දී මගහැරුණු ප්‍රහාරයක් AUGUSTINSSON නැවත සාර්ථකව Ochoa පසු කරමින් ගෝලය තුලට යොමු කළේ ස්වීඩන බලාපොරොත්තු නැවත දල්වමිනි.  

මේ AUGUSTINSSON පළමු ලෝක කුසලාන ගෝලයයි

අනතුරුව 60 වන මිනිත්තුවේ දී වෙස් වලාගත් ආශීර්වාදයක් ලෙස මෙක්සිකෝවේ H. MORENO විසින් BERG හට අනවශ්‍ය බාධා කිරීමක් කළ අතර ස්වීඩන් ප්‍රේක්ෂකයින්ට මහත් අස්වැසිල්ලක් ලබා දෙමින් විනිසුරු ස්වීඩනයට දඬුවම් පහරක් නියම කළේය.

GRANQVIST 62 වන මිනිත්තුවේ දී එම දඬුවම් පහර සාර්ථක කරගත්තේ විශිෂ්ඨ ප්‍රහාරයකිනි.

මේ මෙවර ලෝක කුසලානයේ GRANQVIST සාර්ථක කරගත් දෙවන දඬුවම් පහරයි

ඒ වන විටත් මහත් පීඩනයකට ලක්ව සිටි මෙක්සිකෝ ක්‍රීඩකයින් 74 වන මිනිත්තුවේ දී ස්වීඩනයට තවත් සහයෝගයක් දුන්නේ E ÁLVAREZ විසින් OWN GOALයක් වාර්තා කිරීමත් සමඟයි .ඒ සමග ස්වීඩනයේ තෙවැනි ගෝලයත් වාර්තා වූ අතර ස්වීඩන් කණ්ඩායමක් එක ලෝක කුසලාන තරගයක දී ගෝල තුනක් වාර්තා කළේ 1994 වසරෙන් පසුවයි.

මෙක්සිකෝ ක්‍රීඩකයින්ගේ ක්‍රීඩා විලාසය ඉතා දුර්වල විය

කෙසේ වෙතත් ස්වීඩනය මේ තරගයේ පෙරමුණ ගැනීමත් සමග ජර්මනිය හා මෙක්සිකෝව F කාණ්ඩයේ දෙවන ස්ථානයට තරග කරන තත්වයකට පත්වූ නමුත් ජර්මනිය කොරියාව හමුවේ ගෝල 2-0ක් පරාජයකට ලක්වීම නිසා මෙක්සිකෝවේ ලෝක කුසලාන 16 දෙනාගේ වටයේ බලාපොරොත්තුවට හානියක් වූයේ නැත. අනෙක් අතට සිය තරු ක්‍රීඩකයෙකු වූ  මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ Zlatan Ibrahimović ද නොමැතිව මේ ලෝක කුසලානයට පිවිසුණු ස්වීඩනය මෙක්සිකෝව මෙන්ම ප්‍රබල ජර්මනිය ද පරාජය කරමින් F කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගන්නට සමත් විය.

අවසන් ලකුණු තත්වය: ස්වීඩනය 03 – 00 මෙක්සිකෝව

ගෝල රැස් කළ ක්‍රීඩකයෝ

  • ස්වීඩනය – AUGUSTINSSON 50′, GRANQVIST 62′ (PEN), E. ÁLVAREZ 74′ (OG)

>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට<<