”ශාරීරික යෝග්‍යතා සමාජ” පිහිටුවීමේ මුල් පියවර තබයි

241

”ශාරීරික යෝග්‍යතා සමාජ” ඇති කිරීමේ වැඩසටහනේ පළමු අදියර ලෙස බස්නාහිර පළාතේ ඇවිදින මංතීරු ආශ්‍රිතව ක්‍රියාකාරීව සේවයේ යෙදෙන ශරීර සුවතා උපදේශකවරු සමඟින් හමුවක් ඊයේ (17) තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. 

බෝ නොවන රෝග ඉහළ යාමේ ප්‍රවණතාව අඩු කිරීම සඳහා ජනතාව අතරට ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම් රැගෙන යාමට හා ක්‍රීඩා සංස්කෘතියක් රට තුල ඇති කිරීම මෙහි අරමුණ වී ඇති අතර එහි දී රැස්ව සිටි පිරිස අමතමින් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ලබන වසරේ අයවැය තුළින් ඇවිදින මංතීරු 1000කට වැඩි සංඛ්‍යාවක් මෙරට තුළ ව්‍යාප්ත කිරීමට සූදානම් බවයි.

තවත් ක්‍රීඩා පුවත් කියවන්න: 

‘මෙතෙක් විවිධ ප්‍රදේශවල ඉදි කර ඇති ඇවිදින මංතීරු හා අය වැය තුලින් යෝජිත ඇවිදින මංතීරු 1000කට වඩා වැඩි ප්‍රමාණයක් ලංකාව පුරා ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට තිබෙන ලොකුම අභියෝගය තමයි මේ පුහුණුකරුවන් නියාමනය කිරීම සහ පුහුණුකරුවන් අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් නොතිබීම. 

උදාහරණයක් ලෙස ගත් විට අනෙකුත් සෑම ක්‍රීඩාවකටම ජාතික සංගමයක්, ක්‍රීඩා සංගමයක් සමඟ ජාතික මට්ටමේ අධීක්ෂණයක් තිබෙනවා. එම පුහුණුකරුවන්ට ජාතික වශයෙන් හෝ අන්තර්ජාතික වශයෙන් පුහුණුකරුවෙකු ලෙස ශ්‍රේණිගත සුදුසුකමක් තිබෙනවා.

 නමුත් තිබෙන ගැටලුව තමයි ලංකාවේ කාය වර්ධන මධ්‍යස්ථාන කීයක් තිබෙනවා ද? එහි පුහුණුකරුවන් සුදුසුකම් ලබා තිබෙන්නේ කුමන ආකාරයකට ද කියන ඒක හොයාගන්න බැරි වීම. ඊළඟ වසරේ ඒ් සම්බන්ධව ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ තොරතුරු රැස් කිරීමක් සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.

නිතර දකින්න ලැබෙන ජාතික මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩකයින් සඳහා ශරීර යෝග්‍යතා පුහුණුව මෙන්ම මානසික සුවතාවය ද ලබා දෙමින් මහඟු සේවයක් කරන ටොරින්ටන් අවට ඔබ වැනි පුහුණුකරුවන්ට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් විය යුත්තේ කුමක් ද? 

මේ සඳහා හොඳ පිළිගැනීමක්, තත්වයක් සකස් කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවා ද, තවදුරටත් ඔබගේ සේවය වැඩි දියුණු කිරීමට රාජ්‍ය මට්ටමින් සිදු විය යුතු දේවල් ගැන සාකච්ඡා කිරීමට තමයි  මෙහි ආරම්භයක් ලෙස අද  අපි මේ රැස්වෙලා සිටින්නේ” යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

එහි දී  පුහුණුකරුවන් තම සේවය සිදු කරගෙන යාමේ දී මුහුණපාන අපහසුතා පිළිබඳව සාකච්ඡා කෙරූ අතර ඔවුන්ගේ වෘත්තීය භාවය හා දැනුම පිළිබද කඩඉම් පරීක්ෂණ මගින් ශ්‍රේණිගත කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම, පිළිගත් හැඳුනුම්පතක් නිකුත් කිරීම, එක් පුහුණුකරුවෙකු සඳහා ක්‍රීඩකයෙකු භාර දී එම ක්‍රීඩකයාගේ ශරීරික ව්‍යායාම පුහුණුකරු බවට පත්වීම,අවශ්‍ය මංතීරු කෘතීම ධාවන පත යොදා නවීකරණය කිරීම ආදී බොහෝ කරුණු කෙරෙහි ද අවධානය යොමු විය.

එම සාකච්ඡාවෙන් අනතුරුව ජාතික ශාරීරික සුවතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ශරීර සුවතාවයේ වටිනාකම ජනතාවට දැනුවත් කිරීම, පුහුණුකරුවන් ක්‍රමවත් පුහුණුවකට යොමු කිරීම හා ඔවුන්ට සමාජ පිළිගැනීමක් ලබා දීම, ශාරීරික ව්‍යායාම මංතීරු වෙත ජනතාවගේ සහභාගීත්වය වැඩි කිරීම සඳහා පෙළඹවීමේ ක්‍රියාකාරකම් සිදු කිරීම යන කරුණු සිදු කිරීමට ද යෝජනා විය.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යවරයාට අමතරව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ක්‍රීඩා අධ්‍යක්ෂ අයි. පී. විජේරත්න, ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ලාල් ඒකනායක යන මහත්වරුන් සහ කොළඹ ප්‍රදේශයේ ශරිර සුවතා පුහුණුකරුවන් පිරිසක් සහභාගී විය.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<