ප්‍රථම සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙල එළි දැක්වෙයි

581
ඡායාරූපය අන්තර්ජාලය ඇසුරෙනි

ශ‍්‍රී ලංකාවේ පළමු සහ එකම ක්‍රීඩා සාහිත්‍ය සම්මාන ප්‍රදානය, ‘‘සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන‘‘ ලබන මස 11 වැනිදා සවස 04.00ට ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේ දී  ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව සබුද්ධි සාහිත්‍ය කවය නිවේදනය කර සිටී.

ක්‍රීඩාවේ උන්නතිය උදෙසා ක්‍රීඩා සාහිත්‍යය ප්‍රවර්ධනය කිරීමට දායක වූ සාහිත්‍යවේදීන්, මාධ්‍යවේදීන් ඇතුළුව ජන මාධ්‍ය, නව මාධ්‍ය,  ක්‍රීඩා ආයතන සහ සංවිධාන ඇගයීම සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන ප්‍රදානයේ මූලික අරමුණයි. එහි දී 2019 වසර ඉලක්ක කර කාණ්ඩ 10ක් යටතේ පිරිනැමීමට අපේක්ෂිත සම්මාන සහ කුසලතා සහතික ගණන 30කි.

  1. වසරේ ක්‍රීඩා සාහිත්‍ය නව මාධ්‍යය
  2. වසරේ ක්‍රීඩා සාහිත්‍ය සඟරාව
  3. වසරේ ක්‍රීඩා සාහිත්‍ය ප්‍රවර්ධන – ප්‍රකාශන ආයතනය
  4. වසරේ ක්‍රීඩා සාහිත්‍ය රූපවාහිනිය
  5. වසරේ ක්‍රීඩා සාහිත්‍ය ගුවන්විදුලිය
  6. වසරේ ක්‍රීඩා සාහිත්‍ය දිනපතා පුවත්පත
  7. වසරේ ක්‍රීඩා සාහිත්‍ය සතිඅන්ත පුවත්පත
  8. වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියා
  9. වසරේ විවිධ විෂයික ක්‍රීඩා කෘතිය
  10. වසරේ ශාස්ත්‍රීය ක්‍රීඩා කෘතිය

එම සම්මාන වෙති. 

සම්මානලාභීන් තෝරා ගැනෙණුයේ සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන බුද්ධි මණ්ඩලයෙනි. එහි සභාපතිත්වය ශාස්ත්‍රපති හර්ෂ බී. අබේකෝන් මහතා දරයි. උපදේශක මණ්ඩලයෙහි ජ්‍යේෂ්ඨ උපදේශකවරුන් ලෙසට මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා, මහාචාර්ය අසංග විජයරත්න යන මහත්වරු ද උපදේශක ලෙස කථිචාර්ය ෆාතිමා ශානාස් මහත්මිය ද කටයුතු කරති. 

සාමාජිකයින් ලෙසට විද්‍යාපති තුෂාන් නිසංසල මහතා සහ විද්‍යාපති රුවිනි වික‍්‍රමාරච්චි මහත්මිය කටයුතු කරති. සබුද්ධි විධායක අධ්‍යක්ෂ මාධ්‍යවේදී සිරිනාම රාජපක්ෂ මහතා පැවසුවේ මේ වන විටත් සම්මාන ප්‍රදානයේ සියලූම කාණ්ඩවල නිර්දේශ බුද්ධි මණ්ඩලය විසින් නම් කර ඇති බවයි.

‘‘ක්‍රීඩා සාහිත්‍යය කියන්නේ ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට අත්‍යවශ්‍ය සාධකයක්. ක්‍රීඩකයා, ක්‍රීඩා පිටිය සහ ක්‍රීඩාලෝලියා අතර අන්තර් සබඳතාවක් ගොඩ නැගෙන්නේ ක්‍රීඩා සාහිත්‍යයෙන්. නමුත් සෙසු රටවලට සාපේක්ෂව ගත් විට, විශේෂයෙන් ම අසල්වැසි ඉන්දියාවට සාපේක්ෂව ගත් විට, අපේ රටේ ක්‍රීඩා සාහිත්‍යය අදටත් තියෙන්නේ නොසලකා හරිමින්. ඉතා සීමිත පිරිසක් පමණක් ක්‍රීඩා සාහිත්‍යකරණයෙහි නියැලී සිටිනවා. ඔවුන් ක්‍රීඩා සාහිත්‍යකරණයෙහි යෙදෙන්නේ විවිධ දුෂ්කරතා සහ අභියෝග මැද. සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේ අරමුණු වන්නේ එවැනි සාහිත්‍යවේදීන්, ජනමාධ්‍යවේදීන්, ආයතන සහ සංවිධාන ඇගයීමට ලක් කිරීම පමණක් නොව තවදුරටත් ඔවුන් ක්‍රීඩා සාහිත්‍ය විෂය කෙරෙහි දිරි ගැන්වීමයි‘‘යැයි ද සබුද්ධි විධායක අධ්‍යක්ෂ සිරිනාම රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටි. ද චාන්ස් ස්පෝර්ට්ස් සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේ ස්වර්ණ අනුග්‍රාහකයා වන අතර වික්ටරි අනගි ඉන්ටනැෂනල් සහ කේඑස් වින් අනුග්‍රාහකත්වයෙන් සහාය වෙති.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<