ජපානයට යන නැගීඑන සංචිතයේ නායකත්වය ඩෙලොන් පීරිස්ට

ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායමේ ජපාන සංචාරය 2023

1229
Dellon Peiris

ජපානය සමඟින් පැවැත්වීමට නියමිත තරග සංචාරයක් සඳහා සහභාගී වන 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා නැගීඑන ක්‍රිකට් කණ්ඩායම මාධ්‍ය වෙත නිවේදනය කර තිබෙනවා.

ආදි සාන්ත තෝමස් ක්‍රීඩක ඩෙලොන් පීරිස් සංචිතයේ නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි. ජපාන ක්‍රිකට් සම්මේලනයේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම සංචාරය සඳහා ක්‍රීඩකයින් සහභාගී කරවීමට තීරණය කර තිබෙන අතර මෙම සංචිතය මැයි 8 වැනිදා ජපානය බලා පිටත්ව යෑමට නියමිතයි.

ICC හි සාමාජිකත්ව දරණ රටක් වන ජපාන ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිත මෙම සංචාරය සඳහා විස්සයි විස්ස තරග 5ක් ඇතුළත් වනවා.

එරට ක්‍රිකට් ආයතනය විශ්වාස කරන්නේ, එළඹෙන ජූලි මාසයේ දී පැවැත්වීමට නියමිත නැගෙනහිර ආසියා ශාන්තිකර කලාපීය අවසන් මහා තරගය සඳහා මෙම තරගාවලිය තුලින් ලබා ගන්නා අත්දැකීම් එරට ක්‍රීඩකයින්ට මනා පිටිවහලක් වනු ඇති බවයි.

උක්ත තරගාවලිය ජපානයට විශේෂ තරගාවලියක් වන්නේ එය 2024 ICC පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීම ඉලක්ක කර ගනිමින් පැවැත්වෙන තරගාවලියක් වන නිසාවෙනි.

“මෙම තරගාවලියේ අරමුණ වන්නේ ජපාන ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් දායකත්වය දැක්වීමයි. මට විශ්වාසයි මේ තුලින් ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඇති සහයෝගිතාව තවත් වැඩි දියුණු වනු ඇති බව,” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා විසින් පවසා තිබෙනවා.

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා නැගීඑන සංචිතය: ඩෙලෝන් පීරිස් (C), සකුණ ලියනගේ, දුනිත් ජයතුංග, සාහිල් ඩයස්, රන්මිත් ජයසේන, ශෙහාන් ප්‍රනාන්දු, යොහාන් ලියනගේ, හිරන්ත ජයසිංහ, සිතාර හපුහින්න, ලක්ෂාන් ගමගේ, තීසන් විතුෂාන්, ඉම්තියස් ස්ලාසා, සිතුම් දිසානායක, හර්ෂණ වික්‍රමසිංහ, දනාල් හේමානන්ද,

තරගාවලියේ කාලසටහන

DATE MATCH VENUE
මැයි 10 පළමු විස්සයි විස්ස තරගය SICG
මැයි 11 දෙවැනි විස්සයි විස්ස තරගය SICG
මැයි 13 තෙවැනි විස්සයි විස්ස තරගය SICG
මැයි 14 සිව්වැනි විස්සයි විස්ස තරගය SICG
මැයි 15 පස්වැනි විස්සයි විස්ස තරගය SICG

SICG = Sano International Cricket Ground

තරගාවලියේ උණුසුම් පුවත් ඇතුළු ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<