ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් නිමා වූ වසරේ ශූරයන් පරාජය කරමින් ලකුණු 36ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Galle Gallants ක්‍රීඩකයෝ සමත් වුණා.
කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් Galle Gallants ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 213ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Jaffna Kings ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 177ක් පමණයි.
1 වැනි තරගය, Galle Gallants සහ Jaffna Kings, කොළඹ, SSC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Jaffna Kings
Galle Gallants
දසුන් ශානක (නායක), Sam Harper (කඩුලු රකින්නා), ලසිත් කෲස්පුල්ලේ, චරිත් අසලංක, Mehidy Hasan Miraz, සහන් ආරච්චිගේ, Mohammad Nawaz, චාමික කරුණාරත්න, දිනුර කළුපහන, Akif Javed, විජයකාන්ත් වියස්කාන්ත්, ඒශාන් මාලිංග
Jaffna Kings
භානුක රාජපක්ෂ (නායක), අවිශ්ක ප්‍රනාන්දු, කමිල් මිෂාර (කඩුලු රකින්නා), Ibrahim Zadran, නුවනිඳු ප්‍රනාන්දු, David Wiese, දුනිත් වෙල්ලාලගේ, Piyush Chawla, ට්‍රෙවින් මැතිව්, ඩිල්ශාන් මදුශංක, Lizaad Williams
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Galle Gallants ඉනිම ආරම්භ කරන්නේ Sam Harper සහ ලසිත් කෲස්පුල්ලේ විසිනුයි. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 43ක සබඳතාවක් එක් කරන අතර එම කඩුල්ලේ සබඳතාව අවසන් කරමින් දැවී ගිය ලසිත් කෲස්පුල්ලේ ඒ වෙද්දී ලබා ගෙන සිටියේ ලකුණක් පමණක් වීම කැපී පෙණුනා. ඒ වෙද්දී Sam Harper ලබා සිටි ලකුණු සංඛ්‍යාව 40ක්.
Sam Harper එම ලකුණු සංඛ්‍යාවේ දී ම ඉනිමේ 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 19කට මුහුණ දී සිටි අතර ඔහුගේ ඉනිම හතරේ පහර 8කින් සහ හයේ පහරකින් අලංකාර වී තිබුණා.
අනතුරු ව චරිත් අසලංක සහ Mehidy Hasan Miraz (10) එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 35ක දී ලකුණු 36ක් එක් කළ අතර චරිත් අසලංක සහ සහන් ආරච්චිගේ එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 39ක දී ලකුණු 74ක සබඳතාවක් එක් කරනවා.
ඒ අතර කාලයේ දී මෙවර තරගාවලියේ මංගල අර්ධ ශතකය වාර්තා කිරීමට චරිත් අසලංක සමත් වෙනවා. ඒ සඳහා ඔහුට වැය වූයේ පන්දු 32ක් පමණයි. තමන් මුහුණ දුන් 38 වැනි පන්දුවේ දී දැවී ගිය චරිත් අසංක ඒ වෙද්දී ලකුණු 65ක් ලබා සිටි අතර ඊට හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් ඇතුලත් ව තිබුණා.
සහන් ආරච්චිගේ 6 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.
ඉනිමේ වේගවත් ම ඉනිම ක්‍රීඩා කිරීමට නායක දසුන් ශානක සමත් වූවා. ඔහු පන්දු 9කට පමණක් මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 31ක් ලබා ගත්තා. ඊට අමතර ව Mohammad Nawaz පන්දු 9කට මුහුණ දෙමින් හයේ පහර 3ක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Lizaad Williams සහ Piyush Chawla කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව David Wiese සහ දුනිත් වෙල්ලාලගේ කඩුල්ල බැගින් දවා ගත්තා.
- කණ්ඩායම් 5ක්: එක් කුසලානයක්: LPL අද සිට…
- LPL පිටිය කැළඹු අදියර 5ක වාර්තා
- සෙනුජ වැකුණගොඩගෙන් ද්විත්ව ශතකයක්
- Elephant House Lemonade Sixes එළඹෙන අගෝස්තු මාසයේ දී!
- සහන් සහ Sai ශතක ලබා ගනී
පිළිතුරු Jaffna Kings ඉනිම ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු සහ කමිල් මිෂාර සාර්ථක හඹා යෑමක් ආරම්භ කරනවා. ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට පන්දු 32ක දී ලකුණු 63ක සබඳතාවක් එක් කරන අතර එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ අවිශ්ක ප්‍රනාන්දු ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියා.
Galle Gallants කණ්ඩායමේ බලපෑම් කළ හැකි ක්‍රීඩකයා (Impact Player) ලෙසින් එක් වූ එශාන් මාලිංග එම සබඳතාව බිඳ දැමූ අතර ඉන් නොනැවතුණ ඔහු ඊට පසු ව යැවුණ 3 වැනි පන්දුවේ දී ද ප්‍රතිවාදී ඉනිමේ තවත් කඩුල්ලක් දවා ගන්නවා.
කමිල් මිෂාර 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියා. ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව තවත් කඩුලු ත්‍රිත්වයක් තනි ඉලක්කමේ ලකුණුවලට සීමා වීමත් සමඟින් Jaffna Kings ඉනිමේ ජයග්‍රාහී බලාපොරොත්තු තරමක් ඈත් වූවා.
එහෙත් එම අවස්ථාවේ දී දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමේ සියලු බර කරට ගෙන ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට උත්සාහ කළා. එහි දී ඔහු David Wiese (15) සමඟ එක් වෙමින් 6 වැනි කඩුල්ලට පන්දු 28ක දී ලකුණු 42ක සබඳතාවක් එක් කරනවා. එම සබඳතාව අවසන් කරමින් දුනිත් වෙල්ලාලගේ දැවී යන විට පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව Jaffna Kings කණ්ඩායමට දැනෙන ලකුණු සංඛ්‍යාවක් එක් කළේ චමිඳු වික්‍රමසිංහ. ඔහු ඉනිමේ 7 වැනි කඩුල්ලට දුවද්දී දැවී යද්දී පන්දු 10ක දී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා. ඔහුගේ මේ ප්‍රහාරාත්ම ඉනිමේ දී ඒශාන් මාලිංග ගේ තෙවැනි පන්දුවාරයට හයේ පහර 2ක් සහ හතරේ පහරකින් සංග්‍රහ කිරීමට ද සමත් වෙනවා.
කෙසේ වෙතත් ප්‍රතිවාදීන්ට තවත් පන්දු 2ක් තිබිය දී ඉනිම අවසන් වෙද්දී එශාන් මාලිංග ලකුණු 26කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Akif Javed ලකුණු 31කට කඩුලු 2ක් ද, චරිත් අසලංක, දසුන් ශානක සහ විජයකාන්ත් වියස්කාන්ත් කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Galle Gallants – කඩුලු 6ක් දැවී 213 (20.0) Sam Harper 40, චරිත් අසලංක 65, සහන් ආරච්චිගේ 35, දසුන් ශානක නොදැවී 31, Mohammad Nawaz 21, Lizaad Williams 2/28, Piyush Chawla 2/43
Jaffna Kings – සියලුම දෙනා දැවී 177 (19.4) අවිශ්ක ප්‍රනාන්දු 34, කමිල් මිෂාර 28, දුනිත් වෙල්ලාලගේ 40, චමිඳු වික්‍රමසිංහ 24, Akif Javed 2/31, ඒශාන් මාලිංග 4/26
Galle Gallants කණ්ඩායමට ලකුණු 36ක ජයක්.
තරගයේ වීරයා – චරිත් අසලංක (Galle Gallants)
හෙට (18) තරගාවලියේ තවත් තරග ද්විත්වයක් පැවැත්විමට නියමිතයි.
ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















