ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලිය සඳහා පාකිස්තාන සංචිතය නම් කරයි

Pakistan tour of Sri Lanka 2023

4250

එළඹෙන ජූලි මාසයේ දී ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් පාකිස්තාන සංචිතයක් නම් කර තිබෙනවා.

Babar Azamගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා තවමත් ජාතික වරම් ලබා නොමැති Mohommad Huraira සහ Aamir Jamal නම් නවක ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

මේ අතරින් Mohommad Huraira පිළිබඳ පාකිස්තානය තුළ විශේෂ කතාබහක් ගොඩ නැගී ඇති අතර, හිටපු සුපිරි පාකිස්තාන පිතිකරු Javed Miandadට පමණක් දෙවැනි වෙමින් අඩු ම වයසකින් පළමු පෙළ ත්‍රිත්ව ශතකයක් වාර්තා කිරීමට සමත් වූ පාකිස්තාන ක්‍රීඩකයා ලෙස වාර්තාවක් පිහිටුවීමට ඔහු සමත් වී තිබීම ඊට හේතුව බවයි සඳහන් වන්නේ.

එමෙන්ම පසුගිය වසරේ ශ්‍රී ලංකාව සමඟ පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී ආබාධයකට ලක්වීමෙන් පසු වසරකට ආසන්න කාලයක් තිස්සේ ටෙස්ට් පිටියෙන් ඈත් ව සිටීමට සිදු වූ පාකිස්තාන සුපිරි වේගපන්දු යවන්නා Shaheen shah Afridiහට ද නැවත කණ්ඩායම සමඟ එක් වීමට අවස්ථාව මෙහි දී හිමි වී තිබෙනවා.

මේ වන විට ටෙස්ට් කඩුලු 99ක් දවා ගැනීමට සමත් වී සිටින Shaheen විසින් තමන්ට නැවත කණ්ඩායම සමඟ එක් වීමට ලැබීම පිළිබඳ සිය සතුට මෙසේ පළ කර තිබුණා.

“මම ගොඩක් උද්‍යෝගයෙන් ඉන්නේ වසරකට පසුව නැවත පාකිස්තාන ටෙස්ට් සංචිතය සමඟ එක් වෙන්න ලැබීම ගැන. මට ටෙස්ට් ක්‍රිකට් නැති පාළුව දැනුණා, ඒ වගේ ම මේ තරග රටාවෙන් ඈත් වී සිටීම මට අසීරු දෙයක් වුනා.”

ඒ අනුව ලබන මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පාකිස්තාන සංචිතය මෙසේයි;

Babar Azam (නායක), Mohammad Rizwan (උප නායක), Aamir Jamal, Abdullah Shafique, Abrar Ahmed, Hasan Ali, Imam-ul-Haq, Mohammad Huraira, Mohammad Nawaz, Naseem Shah, Noman Ali, Salman Ali Agha, Sarfaraz Ahmed (wk), Saud Shakeel, Shaheen Afridi and Shan Masood

මෙම පාකිස්තාන සංචිතය ජූලි 9 වැනිදා ශ්‍රී ලංකාව බලා පිටත්ව ඒමට නියමිත අතර මෙම තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<