එංගලන්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් කළු පටි බදියි

2594

ඕස්ට්‍රේලියාව සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ දී එංගලන්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන් කළු පටි පැලඳ ක්‍රීඩා කිරීමට නියමිත බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ඒ පසුගිය දා Nottingham ප්‍රදේශයේ සිදු වූ පිහි ඇනුම් ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින්ට උපහාර දැක්වීම සඳහායි.

අද (16) ආරම්භ වන අළුබඳුන තරගාවලියේ පළමු තරගය ආරම්භ කිරීමට පෙර විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට ද නියමිත අතර ජුනි 22 වැනිදා ආරම්භ වීමට නියමිත කාන්තා ටෙස්ට් තරගයේ ද එය සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

“මෙම සතියේ Nottingham හි සිදු වූ සිදුවීම සෑම කෙනෙකුට මෙන්ම විශේෂයෙන්ම වින්දිතයන්ගේ පවුලේ අයට විශාල ශෝකයක් ගෙන දීලා තියෙනවා. ඔවුන්ගේ ජීවිත සහ අනාගතය කෙතරම් කඩාකප්පල් වී ඇති ද යන්න කීමට හැකියාවක් නැහැ.

මෙම සිදුවීම එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ද කනගාටුවට පත් කරන අතර අපි මෙම සිදුවීමෙන් පීඩාවට පත් වූවන් ගැන සිතනවා. ඔවුන්ට ගෞරවයක් වශයෙන් අපි කළු පටි පැලඳ ක්‍රීඩා කරනවා,” යැයි එංගලන්ත ටෙස්ට් නායක Ben Stokes ප්‍රකාශ කළා.

එම සිදුවීම නිසා තිදෙනෙක් මරණයට පත්ව තවත් එක් අයෙකු බරපතළ තුවාල ලැබූ බව වාර්තා වෙනවා.

මිය ගිය යොවුන් පුද්ගලයෙකු වන Grace Kumar එංගලන්ත 18න් පහළ හොකී කණ්ඩායම සහ Woodford Wells ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා ද ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනවා.

Nottingham වල සිදු වූ සිදුවීම ගැන ඉතාම කණගාටුදායක දෙයක්. එය ඉතාම සමීප දෙයක් වගේ දැනෙන අතර දැන ගන්නට ලැබුණා එයින් දෙදෙනෙක් ක්‍රිකට් ක්‍රීඩකයින් කියලා,” යැයි එංගලන්ත ක්‍රිකට් නායිකා Heather Knight ප්‍රකාශ කළා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<