කණ්ඩායම් හයක්; අවසන් පූර්ව වටයේ ස්ථාන දෙකක්

ICC Cricket World Cup 2023

11276

සත්කාරක ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව 2023 එක්දින ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට මේ වන විටත් සුදුසුකම් ලබා අවසන්.

එමෙන්ම බංග්ලාදේශය සහ එංගලන්තය මේ වන විටත් ලෝක කුසලාන අවසන් පූර්ව වටයට පිවිසීමේ සටනින් ඉවතට විසි වී අවසන්. මේ අනුව දැන් අවසන් පූර්ව වටයේ ස්ථාන දෙකක් සඳහා කණ්ඩායම් හයක් අතර තියුණු සටනක් නිර්මාණය වී තිබෙනවා.

මේ අතරින් ඕස්ට්‍රේලියාව, පාකිස්තානය, නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය යන රටවල් සටනේ ඉදිරියෙන් ම සිටින අතර, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තයට ද යම් පමණක අවස්ථාවක් ඉතිරි වී තිබෙනවා.

මේ පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් පහතින් දැක්වෙනවා.

ඕස්ට්‍රේලියාව

  • තරග: 7, ලකුණු: 10, NRR: 0.924
  • ඉතිරි තරග: ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය සමඟ

නිල වශයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා නැති වුවත් ඊයේ (04) එංගලන්තයට එරෙහිව ලද ජයග්‍රහණය නිසා ඕස්ට්‍රේලියාව මේ වන විටත් අවසන් පූර්ව වටයට පිවිසීමේ සටනේ ඉදිරියෙන් ම පසුවනවා.

ඕස්ට්‍රේලියාව ඉතිරි වී ඇති තරග ද්විත්වය ම පරාජය වුවත් දල ලකුණු වේගයේ විශාල පහත බැසීමක් සිදු නොවේ නම් අවසන් පූර්ව වටයට පිවිසීමට යම් අවස්ථාවක් ඉතිරි වී තිබෙනවා. එමෙන්ම නවසීලන්තය සහ පාකිස්තානය සිය අවසන් තරග පරාජය වුවහොත් ඕස්ට්‍රේලියාව සිය අවසන් තරග ද්විත්වය කුමන ආකාරයෙන් පරාජය වුව ද අවසන් පූර්ව වටයට පිවිසෙනු ඇති.

තරගාවලියේ මුල් තරග දෙක ම පරාජය වූ ඕස්ට්‍රේලියාව ඉන් පසුව ක්‍රීඩා කළ තරග 5ම නොකඩවා ජයග්‍රහණය කිරීමට සමත් වුනා. ඉදිරි තරගවලින් අඩුම තරමේ එකක් හෝ ජයග්‍රහණය කිරීමට ඕස්ට්‍රේලියාවට හැකි වේ නම් ඔවුන්ට ලකුණු සටහනේ මුල් ස්ථාන තුන අතරට පිවිසීමට හැකියාව ලැබෙනු ඇති.

නවසීලන්තය:

  • තරග: 8, ලකුණු: 8, NRR: 0.398
  • ඉතිරි තරගය: ශ්‍රී ලංකාව සමඟ

මේ වන විට ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ රැඳෙන නවසීලන්තය තරගාවලියේ සිය පළමු තරග හතර ම පහසුවෙන් ජයග්‍රහණය කිරීමට සමත් වුවත්, ඉන් පසුව ක්‍රීඩා කළ තරග හතර නොකඩවා පරාජය වුනා. මෙම පරාජයන් හතර නිසා ඔවුන් දැන් යම් අවදානම් තත්වයකට ඇද වැටී තිබෙනවා.

දැන් නවසීලන්තය ඔවුන්ට ඉතිරි වී ඇති එකම තරගය වන ශ්‍රී ලංකාවට එරෙහි තරගය ජයග්‍රහණය කළත්, ඕස්ට්‍රේලියාව විසින් බංග්ලාදේශය සමඟ තරගය සහ ඇෆ්ගනිස්තානය සිය ඉතිරි තරග දෙකම ජයග්‍රහණය කරයි නම් නවසීලන්තයේ ලෝක කුසලාන බලාපොරොත්තු එතෙකින් නතර වනු ඇති.

කෙසේ වෙතත් නවසීලන්තය ශ්‍රී ලංකාව පරාජය කරන අතරේ, ඇෆ්ගනිස්තානය සිය ඉතිරි තරග දෙකම පරාජය වී, එංගලන්තය විසින් පාකිස්තානය පරාජය කරයි නම් කිසිදු ගැටලුවකින් තොරව (දල ලකුණු වේගය පවා සැලකීමට නොගෙන) නවසීලන්තයට අවසන් පූර්ව වටයට පිවිසීමට හැකියාව ලැබෙනු ඇති.

මේ අතර නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර බැංගලෝර් හිදි පැවැත්වීමට නියමිත තරගයට වර්ෂාවෙන් යම් බාධාවක් එල්ල වුවහොත් නවසීලන්තයට පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය සිය තරග පරාජය වන තුරු බලා හිඳීමට ද සිදු වනවා.

එමෙන්ම නවසීලන්තය සිය ඉතිරි තරගය ජයග්‍රහණය කරද්දී, පාකිස්තානය ද සිය ඉතිරි තරගය ජයග්‍රහණය කර, ඇෆ්ගනිස්තානයත් එක් තරගයක් ජයග්‍රහණය කළහොත් මෙම කණ්ඩායම් තුනම ලකුණු 10 බැගින් ලබා ගන්නා අතර එවිට මෙම සටනේ ප්‍රතිඵලය දල ලකුණු වේගය අනුව තීරණය කිරීමට සිදු වනවා. කෙසේ වෙතත් මේ වන විට දල ලකුණු වේගයේ වාසියෙ නවසීලන්තය සතු වනවා.

පාකිස්තානය:

  • තරග: 8, ලකුණු: 8, NRR: 0.036
  • ඉතිරි තරගය: එංගලන්තය සමඟ

ඊයෙ නවසීලන්තයට එරෙහිව ලද විශිෂ්ට ජයග්‍රහණය සමඟ පාකිස්තානය නැවතත් ලෝක කුසලාන සටනට අවතීර්ණ වීමට සමත් වුනා. කෙසේ වෙතත් ඔවුන්ට තවත් ඉතිරි වී ඇත්තේ එක් තරගයක් පමණයි.

මෙම තරගය ඔවුන් ජයග්‍රහණය කළ ද එළඹෙන නවසීලන්ත – ශ්‍රී ලංකා තරගය නවසීලන්තය හොඳ දල ලකුණු වේගයක් සහිතව ජයග්‍රහණය කිරීමට සමත් වුවහොත්* පාකිස්තානයේ ලෝක කුසලාන බලාපොරොත්තුවලට යම් බලපෑමක් එල්ල වීමට ඉඩ තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව විසින් නවසීලන්තය පරාජය කරයි නම් එය පාකිස්තානයට වාසි දායක වනු ඇති.

එමෙන්ම ශ්‍රී ලංකාව විසින් නවසීලන්තය පරාජය කරන අතරේ ම, ඇෆ්ගනිස්තානය සිය ඉතිරි තරග දෙකම පරාජය වේ නම් පාකිස්තානයට එංගලන්තය පරාජය කිරීම පමණක් (දල ලකුණු වේගය නොසලකමින්) අවසන් පූර්ව වටයට පිවිසීමට ප්‍රමාණවත් වනු ඇති.

*. නවසීලන්තය ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 300ක් රැස් කරමින් එක් ලකුණක ජයග්‍රහණයක් ලබයි නම්, පාකිස්තානයට නවසීලන්තය අබිබවා යාමට නම් එංගලන්තයට එරෙහිව ලකුණු 130ක ජයග්‍රහණයක් (ලකුණු 300ක් රැස් කිරීමෙන් පසු) ලබා ගත යුතු වේ. නවසීලන්ත – ශ්‍රී ලංකා තරගයෙන් පසුව එංගලන්ත – පාකිස්තාන තරගය පැවැත්වීමට නියමිත නිසා පාකිස්තානයට තමන් ජයග්‍රහණය කළ යුතු සීමා පිළිබඳ අවබෝධයක් සහිතව තරගයට පිවිසීමට හැකියාව ලැබීම අමතර වාසියක් වනවා.

ඇෆ්ගනිස්තානය:

  • තරග: 7, ලකුණු: 8, NRR: -0.330
  • ඉතිරි තරග: ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සමඟ

තමන්ට ඉතිරි වී ඇති තරග දෙකම ජයග්‍රහණය කළ හැකි නම් ඇෆ්ගනිස්තානයට කිසිඳු ගැටලුවකින් තොරවම අවසන් පූර්ව වටයට පිවිසීමේ හැකියාව පවතිනවා. කෙසේ වෙතත් මෙවර ලෝක කුසලානයේ ප්‍රබලතම රටවල් දෙකක් සමඟ ඔවුන්ට ලැබෙන එම අභියෝගය නම් එතරම් පහසු එකක් නොවේවී. එමෙන්ම මෙහි දී ඇෆ්ගනිස්තානය සතු අඩු දල ලකුණු වේගය ද ඔවුන්ට යම් අන්දමක බාධකයක් වනවා.

කෙසේ වෙතත් නවසීලන්තය සහ පාකිස්තානය තමන්ගේ ඉතිරි තරග පරාජය වේ නම් ඇෆ්ගනිස්තානයට එක් තරගයක් පමණක් ජයග්‍රහණය කරමින් (දල ලකුණු වේගය නොසලකමින්) අවසන් පූර්ව වටයට පිවිසීමේ හැකියාවක් ද පවතිනවා.

ශ්‍රී ලංකාව:

  • තරග: 7, ලකුණු: 4, NRR: -1.162
  • ඉතිරි තරග: බංග්ලාදේශය සහ නවසීලන්තය සමඟ

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටය පිළිබඳ තවමත් යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි අතර එය වැඩි වශයෙන් ගණිතමය* බලාපොරොත්තුවක් බව සඳහන් කළ යුතුයි.

මෙහි දී ශ්‍රී ලංකාව තම ඉතිරි තරග ද්විත්වය ම ජයග්‍රහණය කළ යුතු අතර නවසීලන්තය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය සිය ඉතිරි තරග සියල්ල පරාජය විය යුතුයි. එවිට ශ්‍රී ලංකාව, පාකිස්තානය, නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය ලකුණු 8 බැගින් ලබා ගනිමින් මූලික වටය නිමා කරනු ඇති අතර අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම දල ලකුණු වේගය අනුව තීරණය කෙරෙනු ඇති.

*. නමුත් දැන් ශ්‍රී ලංකාවේ දල ලකුණු වේගය සාපේක්ෂව ඉතා පහළ අගයක රැඳී පවතින අතර එම නිසා ඔවුන් තම ඉතිරි තරග දෙක ඉහළ දල ලකුණු වේගයක් සමඟ ජයග්‍රහණය කළ යුතුයි. එමෙන්ම අනෙක් කණ්ඩායම් තුන ද තරමක් බරපතළ පරාජයන් ලබයි නම් එය ශ්‍රී ලංකාවට වාසි දායක වනු ඇති. එම නිසා මෙය යථාර්ථවාදී සමීකරණයකට වඩා ගණිතමය සමීකරණයක් ලෙස සැලකිය හැකි.

නෙදර්ලන්තය:

  • තරග: 7, ලකුණු: 4, NRR: -1.398
  • ඉතිරි තරග: එංගලන්තය සහ ඉන්දියාව සමඟ

ශ්‍රී ලංකාවට අදාළ වන සමීකරණය ම නෙදර්ලන්තයටත් අදාළ වන අතර මෙහි දී ඔවුන්ගේ දල ලකුණු වේගය ශ්‍රී ලංකාවටත් පහළ මට්ටමක පැවතීම නිසා මෙය ඉතා අපහසු මාර්ගයක් බව හැඳින්විය හැකි.

2023 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට පිවිසීමට කණ්ඩායම්වලට ඇති ඉඩ එසේ බෙදී යනවා. එමෙන්ම මෙහි දී ශ්‍රී ලංකාවට සහ නෙදර්ලන්තයට අවසන් පූර්ව වටයට පිවිසීමේ සටන මෙන්ම ලකුණු සටහනේ මුල් කණ්ඩායම් අට අතර රැඳීමේ සටනට ද සහභාගී වීමට සිදුව තිබෙනවා.

2025 ශූරයින්ගේ කුසලානයට සහභාගී වීමට නම් මෙවර ලෝක කුසලාන ලකුණු සටහනේ මුල් කණ්ඩායම් අට අතරට පිවිසීමට කණ්ඩායම්වලට සිදු වන අතර මේ වන විට ශ්‍රී ලංකාව එහි හත්වැනි ස්ථානයේ රැඳෙනවා.

මෙහි දී ශ්‍රී ලංකාවට සිය ඉදිරි තරග දෙකම හෝ අඩුම තරමේ එකක් හෝ ජයග්‍රහණය කළ හැකි නම් මෙම අභියෝගය පහසුවෙන් තරණය කළ හැකි. නමුත් ඔවුන් ඉතිරි තරග ද්විත්වය ම පරාජය වුවහොත් ඔවුන්ට නෙදර්ලන්ත, එංගලන්ත සහ බංග්ලාදේශ කණ්ඩායම්වල තරග දෙස බලා හිඳීමට සිදු වනවා. මේ වන විට එංගලන්තය සහ බංග්ලාදේශය ශූරයින්ගේ කුසලානය වෙනුවෙන් සහභාගී වීමේ අවස්ථාව නොලැබී යාමට වැඩි ඉඩක් ඇති කණ්ඩායම් ලෙස හඳුන්වා දිය හැකි.

කෙසේ වෙතත් මේ නිසා තරගාවලියේ ඉදිරියෙන් ම පසු වන කණ්ඩායම් අතර මෙන්ම, ලකුණු සටහනේ අඩියේ ම රැඳෙන කණ්ඩායම් අතරත් තරගකාරීත්වය නම් තවමත් නිමා වී නොමැති බව තහවුරු කළ හැකි.

මේ අතර මෙවර ලෝක කුසලානයේ ප්‍රබලතම කණ්ඩායම් දෙක ලෙස සැලකිය හැකි ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද (05) පැවැත්වීමට නියමිතයි. මෙම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට ලකුණු සටහනේ පළමු ස්ථානය ස්ථිර කර ගැනීමට ද ඉහළ අවස්ථාවක් හිමි වී තිබෙනවා.

දිනෙන් දින උණුසුම් වන 2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<