වසර 15කට පසුව ලැබුණු අවස්ථාව ගැන පාකිස්තානය සතුටෙන්

Asia Cup 2023

2083

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති Najam Sethi විසින් එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොටසක් හෝ පාකිස්තානයේ පැවැත්වීමට හැකි වීම පිළිබඳ සිය සතුට පල කර තිබෙනවා.

2023 ආසියානු කුසලානයේ නිල සත්කාරක රට ලෙස පාකිස්තානය නම් කර තිබුනත්, පාකිස්තානයේ ක්‍රීඩා කිරීමට ඉන්දියාව සිය අකමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසු තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳ යම් ගැට‍ලුවක් හට ගත්තා.

නමුත් පසුව පාකිස්තානය විසින් ඊට පිළියමක් ලෙස දෙමුහුන් ආකෘතියක් අනුව තරගාවලිය පැවැත්විය හැකි බවට යෝජනාවක් රැගෙන ආ අතර ඊයේ (15) ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) මඟින් එයට සිය එකඟතාව පළ කළා.

ඒ අනුව මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අගෝස්තු 31 වැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් යුතුව පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ ආරම්භක තරගය වන පාකිස්තානය සහ නේපාලය අතර තරගය සහ ශ්‍රී ලංකා – බංග්ලාදේශ, ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන සහ ඇෆ්ගනිස්තාන – බංග්ලාදේශ කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තරග ද මේ අනුව පාකිස්තානයේ පැවැත්වෙනු ඇත.

එමෙන්ම ඉන්පසුව තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් යුතු ව පැවැත්වීමට නියමිත අතර, එම නිසා තරගාවලියේ මූලික වටයේ ඉන්දු – පාකිස්තාන ක්‍රිකට් ගැටුම ඇතුළු උණුසුම් තරග රැසක් ශ්‍රී ලංකාවේ දී දැක බලා ගැනීමට අවකාශය උදා වනු ඇත.

මේ අතර 2008 වසරේ පාකිස්තානයේ පැවැත්වුණු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් වසර පහළොවකට පසුව නැවතත් රටවල් දෙකකට වැඩි ප්‍රමාණයක් සහභාගී වන තරගාවලියක් පාකිස්තානයේ පැවැත්වීමට හැකියාව ලැබීම පිළිබඳ PCB සභාපති Najam Sethi විසින් සිය සතුට පළ කර කරනවා.

“2023 ආසියානු කුසලානය සඳහා අපේ දෙමුහුන් ආකෘතිය පිළිගැනීම පිළිබඳ ව මම සතුටු වෙනවා. ඒ කියන්නේ පාකිස්තානය තමයි තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ, ඉන්දියාවට පාකිස්තානයේ සංචාරය කළ නොහැකි නිසා ශ්‍රී ලංකාව මධ්‍යස්ථ රට විදිහට පවතිනවා.

වසර 15කට පසුව පළමු වතාවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ දකින්න ලැබුණා නම් අපේ ක්‍රිකට් රසිකයින් සතුටු වේවි. නමුත් අපට BCCI හි ස්ථාවරය තේරුම් ගන්න පුළුවන්. PCB වගේ ම BCCI ද දේශ සීමා තරණය කිරීමට පෙර රජයේ අනුමැතිය ලබා ගත යුතුයි.

මේ වගේ වටපිටාවක් තුළ දෙමුහුන් ආකෘතිය තමයි හොඳම විසඳුම වුනේ. ඒ නිසයි මම ඒ වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටියේ.”

එමෙන්ම ගෙවී ගිය මාස 15ක පමණ කාලය තුල පාකිස්තානය විසින් PSL තරගාවලිය සහ තවත් ද්විපාර්ශවික ක්‍රිකට් තරගාවලි කිහිපයක් ම සාර්ථක ව  පැවැත්වීමට සමත් වූ බවත් Sethi විසින් අවධාරණය කරනවා.

“2025 පෙබරවාරි/මාර්තු මාසවල පාකිස්තානයේ පැවැත්වීමට නියමිත ICC ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ දීත් ආසියානු කුසලාන තරගාවලියේ දී කණ්ඩායම් වලට ලැබෙන අත්දැකීම් වලට සමාන අත්දැකීමක් ලබා දෙන්න අපි සූදානම්.”

එමෙන්ම සත්කාරකත්වය ශ්‍රී ලංකාව සමඟ බෙදී යාමෙන් පසුව ආසියානු කුසලාන තරගාවලිය පිළිබඳ සිය සැලසුම් ACC සහ ශ්‍රී ලංකාව හා බෙදා ගනිමින් එම සැලසුම් සාර්ථකව දියත් කිරීමට බලාපොරොත්තු වන බවත් Sethi විසින් සඳහන් කරනවා.

2023 එක්දින ලෝක කුසලානයට හොඳ සූදානමක් ලබා ගැනීමේ බලාපොරොත්තු සහිත ව මෙම ආසියානු කුසලාන තරගාවලිය සමඟ එක් වන කණ්ඩායම් වලට පසුතැවීමට කිසිදු හේතුවක් ඉතිරි නොකරන සාර්ථක තරගාවලියක් පැවැත්වීමට තමන් බලාපොරොත්තු වන බවත් Najam Sethi විසින් අවධාරණය කරනවා.

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<